ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත අංශයේ අවසන් මහ තරග මේ ඉරිදා (10) ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට වැඩි ප්‍රමාණයක් එක්වී සිටින මෙවර තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ නිමාවට පත් වූ අතර, අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග අද (9) පැවැත්වීමට නියමිතය.
අවුරුදු 11 සිට අවුරුදු 19 දක්වා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30ට වැඩි සහ අවුරුදු 70ට වැඩි වශයෙන් ජ්‍යෙෂ්ඨ තරග අංශය සහ කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත තරග අංශය ඇතුළත් ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ඊයේ (8) පැවති අවුරුදු 19න් පහළ බාලිකා ඒකල තරගය ජය ගැනීමට රනිත්මා ලියනගේ සමත් වූ අතර, බාලක ඒකල තරගයේ ජය සිනෙත් මන්තුකට හිමිවිය. එම වයස් කාණ්ඩයේ බාලිකා යුගල තරගයේ ජය හිමි වූයේ දසිත්මා ජයතිලකට සහ සිතුකි ඔනාදිට ය. මේ අතර එදිනම පැවති අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ බාලක ඒකල තරගය ජය ගැනීමට රෙෂාන් හරිත් සමත් වූ අතර, කාන්තා බාලිකා ඒකල තරගය දිලිනි අම්බලන්ගොඩගේ දිනා ගත්තාය.
අවුරුදු 15න් පහළ බාලක ඒකල තරගය ජය ගැනීමට සෙනුත් පෙරේරා සමත් වූ අතර, අවුරුදු 13න් පහළ බාලක ඒකල තරගය ජය ගැනීමට තමිඳු ප්‍රනාන්දු සමත් වූ අතර, බාලිකා ඒකල තරගයේ ජය සසඳි ගුරුගේ දිනා ගත්තාය. අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ තරග අංශයේ බාලක ඒකල තරගය ජය ගැනීමට හංසක රෂිමින්ද සමත් වූ අතර, බාලිකා ඒකල තරගයේ ජය විත්සදී කෞෂල්‍යාට හිමිවිය.