Saturday, May 10, 2025
Home » පාසල්වලට සූර්ය පැනල

පාසල්වලට සූර්ය පැනල

by chanaka
December 10, 2023 9:42 am 0 comment

පාසල් සඳහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහනක් ඇරඹෙයි. එම නියාමන ව්‍යාපෘතිය මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයෙන් ආරම්භ වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පවසන්නේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ මසකට රුපියල් 20,000 කට වැඩි විදුලි බිලක් ඇති පාසල් සඳහා මුලින්ම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේදී පසුගිය සිකුරාදා (08) පැවැති මිනුවන්ගොඩ අධ්‍යාපන ව්‍යුහ කමිටු රැස්වීමට සහභාගී වෙමිණි.

මිනුවන්ගොඩ කලාපයේ ඉහළ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබා ගත් පාසල් 08 අගයමින් එම පාසල්වල විදුහල්පතිවරුන්ට සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණි.

අනතුරුව මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 35 සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කළ ප්‍රධාන සැලසුම් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා විදුහල්පතිවරුන්ට මෙහිදී පිළිගැන්විය.

මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 160ක් තිබේ. එම පාසල්වලින් අබලන් තත්වයේ පවතින පාසල් ගොඩනැගිලි සංවර්ධන කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිටත් ක්‍රියාත්මක වේ. එහි පළමු පියවර ලෙස මෙම පාසල් 35 සඳහා සැලසුම් සකස් කළ අතර එම සියලුම සැලසුම් නිර්මාණය කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මැදිහත්වීමෙනි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මෙවැනි ප්‍රධාන සැලසුම් පුද්ගලික අංශයෙන් සිදුකරගත හොත් ඒ සඳහා රුපියල් ලක්ෂ 10කට වැඩි මුදලක් වැයවන බවයි.

එතරම් විශාල මුදලක් පාසල්වලට හෝ කලාප අධ්‍යාපන කාර්යාලයට දැරීමට අපහසු බැවින් ඒ සඳහා සැලසුම් සැකසීමේ කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් සම්බන්ධ කර ගත් බවද හෙතෙම පැවසීය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නේ පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු මෙම සැලසුම් මත පදනම් වෙමින් සකස්කරගත යුතු බවයි.එමෙන්ම මේ සැලසුම් සම්බන්ධයෙන් පාසල් සංවර්ධන කමිටු, ආදිශිෂ්‍ය සංගමය,පාසල් කළමණාකරණ කමිටු සමඟ සාකච්ඡා කරන ලෙසද උපදෙස් දුන්නේය.

එමෙන්ම “අපේ පාසල – ⁣අපේ දෑතින් සුරකිමු” ව්‍යාපෘතිය යටතේ පාසල් 17 ක වර්ණාලේප හා සුළු අළුත්වැඩියාව සඳහා මුදල් ලබා දීමද අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙහිදී සිදු කෙරුණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම මත මිනුවන්ගොඩ පාසල් සංවර්ධනය කිරීම සඳහා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නවුෆර් ෆවුසි මහතාට අයත් සහීඩා පදනම ඉදිරිපත් වී තිබේ. එම පදනම ලබා දුන් රුපියල් ලක්ෂ 100ක මුදලක් පාසල් 08ක සංවර්ධන කටයුතු වෙනුවෙන් විදුහල්පතිවරුන්ට මෙහිදී ප්‍රදානය කළහ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට සහ විදුහල්පතිවරුන්ට අවධාරණය කළේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ පවතින ගුරු පුරප්පාඩුව ලබන වසරේ මුල් කාර්තුවේදී අවසන් කිරීමට කටයුතු කරන බවයි.

මෙම අවස්ථාවට මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කපිල රණරාජා පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා ඇතුළු නිළධාරින් සහ මිනුවන්ගොඩ කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් සහභාගී වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT