Saturday, May 10, 2025
Home » වැට් බදු (සංශෝධන) පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද

වැට් බදු (සංශෝධන) පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද

by chanaka
December 10, 2023 9:44 am 0 comment

parliment 1245

විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද (10) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව, පෙරවරු 09.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දැනට පවතින සියයට 15ක වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ යනු ඇත.

ඊට අමතරව මෙතෙක් වැට් බද්ද අයත් නොවූ ක්ෂේත්‍ර රැසකට එම නව සංශෝධනය මගින් වැට් බද්ද අදාළ කර තිබේ.

ඒ අනුව මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ රසායනික පොහොර ඇතුළු අනෙකුත් උපකරණ සඳහා වැට් බදු පැනවීමට නියමිතව තිබේ.

මෙරට වගාකරන ධාන්‍යවලින් සාදන ලද ආහාර නිෂ්පාදන “පෝෂ” කාණ්ඩයට අයත් අධි ප්‍රෝටීන් සහ අධි ශක්ති කෘෂි ආහාර ද වැට් බදු සඳහා යටත් කිරීමට යෝජනා වී ඇති බව සඳහන්ය.

වෛද්‍ය උපකරණ, ගිලන් රථ, පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් ද එම බදු පැනවීමට යටත් කිරීමට යෝජනා වී තිබේ.

කෙසේවෙතත් විදුලි ගාස්තු සඳහා වැට් බදු පැනවීම සිදු නොවන අතර ආනයනයේදී පැනවෙන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද, පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් යන භාණ්ඩවලින් ඉවත් කිරීමට නියමිතය.

දියර කිරි සහ බිත්තර වැනි කිරි නිෂ්පාදනයන් ද නව වැට් බදු පැනවීමට යටත් වන අතර තිරිඟු, තිරිඟු පිටි හෝ කිරිපිටි, ඖෂධ නිෂ්පාදන හා ඖෂධ නව වැට් බදු සංශෝධනයෙන් නිදහස් කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT