Home » පාර්ලිමේන්තුව කල් තැබේ

පාර්ලිමේන්තුව කල් තැබේ

by chanaka
December 10, 2023 12:54 pm 0 comment

ගණපූර්ණය නොමැතිවීමෙන් අද (10) ප.ව 12.05ට පමණ පාර්ලිමේන්තුව හෙට (11) පෙ.ව 9.30 දක්වා කල්තැබිණි.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අද පෙ.ව 9.30 ට පමණ ආරම්භ වූ අතර ප.ව 4.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.

එහෙත් විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ගණපූර්ණය පිළිබඳව මූලාසනයේ අවධානයට යොමු කරන ලදී. ඒ අනුව බෙදුම් සීනුව විනාඩි 5ක් නාද කිරීමෙන් අනතුරුව ද ගණපූර්ණය නොවූ හෙයින් ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව හෙට (11) පෙ.ව 9.30 දක්වා කල්තබන බව මූලාසනය හෙඹවූ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 73 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ගණපූර්ණය මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ද ඇතුළුව මන්ත්‍රීවරයන් විසි දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. එසේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 11 ප්‍රකාරව ඕනෑම අවස්ථාවක ගණපූර්ණය නොපවතින බව කථානායකවරයාගේ හෝ මූලාසනාරූඪ මන්ත්‍රීවරයාගේ අවධානයට යොමු කළහොත් බෙදුම් සීදුව නාද කිරීමට කථානායකවරයා හෝ මූලසනාරූඪ මන්ත්‍රීවරයා අණ කළ යුතුය.

බෙදුම් සීනුව මිනිත්තු 5ක් නාද කිරීමෙන් අනතුරුව ද ගණපූර්ණය නොමැතිනම් කථානායකවරයා හෝ මූලසනාරූඪ මන්ත්‍රීවරයා විසින් හෝ ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x