සුබසෙත පුවත්පත මඟින් සංවිධානය කරන ලද ජ්‍යොතිෂායුර්වේද සායනය පෙරේදා (9) සහ ඊයේ (10) කැලණිය, පොල්හේනේ විෂ වෛද්‍ය විද්‍යාල පරිශ්‍රයේදී පෙරවරු 8.30 සිට 4.30 දක්වා පැවැත්විණි.
දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන්, හස්ත රේඛා විශේෂඥයන්, වාස්තු විද්‍යා ශිල්පීන්, ආයුර්වේද සහ දේශීය වෛද්‍යවරුන් ඇතුළු ජ්‍යොතිෂ සහ ආයුර්වේදය සම්බන්ධ විශේෂඥයන් රැසකගේ දායකත්වයෙන් මෙය පැවැත්විණි. ජන්ම පත්‍ර පරීක්ෂාව, පොරොන්දම් ගැළපීම, හස්තරේඛා ඇසුරෙන් අනාවැකි සහ රෝග හඳුනාගැනීම, නිවෙසේ පිඹුරුපත් පරීක්ෂාවෙන් වාස්තු දෝෂ පරීක්ෂා කර ගැනීමට ජනතාව විශාල වශයෙන් පැමිණ සිටියහ.
එසේම සර්වාංග රෝග, තුනටිය, දණහිස්, අක්ෂි, ළදරු රෝග, ගෙඩි වන පිළිකා සඳහා ආයුර්වේද සහ දේශීය වෛද්‍ය පිළියම් ලබාගැනීමට අවස්ථාව සලසා තිබිණි. ආයූර්වේද ඖෂධ ඇසුරෙන් සිදු කරන රූපලාවණ්‍ය සත්කාර ක්‍රමද මෙයට ඇතුළත් විණි. මීට අමතරව සිංහ සමාජ මඟින් නොමිලේ කෙරෙන රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කිරීම සහ ඇස් කණ්ණාඩි බෙදා දීම ද ප්‍රදේශයේ තෝරාගත් ගර්භණී මවුවරුන් සඳහා පෝෂණ මල්ල බැගින් ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.
ඡායාරූප – සුලෝචන ගමගේ,ගයාන් පුෂ්පික