Home » කාටවත් වරදක් නොකරපු මගේ මහත්තයා අපි හැමෝම දාලා ගියා

කාටවත් වරදක් නොකරපු මගේ මහත්තයා අපි හැමෝම දාලා ගියා

- මිය ගිය ප්‍රසංග සංජීවගේ බිරිය හැඬු කඳුළින් කියයි

by sachintha
December 11, 2023 1:01 am 0 comment

කරාපිටියේ පස් කණ්ඩියක් කඩා වැටී සිදු වූ මරණය

ගොඩනැඟිල්ල ඉදිකිරීමේදි නියමිත නිර්ණායක පිළිපැද නෑ -ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය

බැකෝවේ කුල්ලට හසුවී හිස කඳින් වෙන් වෙලා

කොන්ත්‍රාත්කරු ආතතිය වැලඳී රෝහලේ: කාර්මික උපදේශක පැන ගිහින්

මගේ පවුලේ හැමදේම කළේ මහත්තයයි. කාටවත් වරදක් නොකරපු මගේ මහත්තයා අපි හැමෝම දාලා ගියා යැයි කරාපිටියේදි පස් කන්දකට යටවී මිය ගිය ඉමදූව වල්පොල ප්‍රසංග සංජීවගේ (35) බිරිය ලතීශා මදුමාලී හඬා වැටුණාය.

ගාල්ල කරාපිටිය නගරයේ අලුතින් ඉදිකරගෙන යනු ලබන සිවු මහල් ගොඩනැඟිල්ලක පිටුපස පැති බැම්මක් ඉදිකිරීමට කානුවක් කපා එහි කමිබි කූරු අතුරමින් සිටි පුද්ගලයන් සිවු දෙනකු පස් කණ්ඩියකට යටවූ අතර ප්‍රසංග සංජීව එම ස්ථානයේම මිය ගියේය. තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අපට දූලා දෙන්නෙක් ඉන්නේ. එක් දුවක් 3 පන්තියේ ඉන්නේ. අනෙක් දුව තවම මොන්ටිසෝරි යන්නේ. අනේ දෙවියනේ අපි තනි වුණා. මහත්තයා අපි හැමෝම දාලා ගියා යැයි පවසමින් ඇය විලාප දුන්නාය.

පසුගිය (09) දා පස්වරුවේදි පස් කණ්ඩිය කඩා වැටී මෙසේ මියගොස් ඇත්තේ පිටදුව ගමගේ ප්‍රසංග සංජීව (35) නමැති ඉමදුව වල්පොල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. පස් කණ්ඩියට යටව සිටි පුද්ගලයාගේ හිසත් කඳත් ගොඩ ගත්තේ වෙන වෙනමය. බැකෝ යන්ත්‍රයේ කුල්ලට හසුවීමෙන් එම පුද්ලයාගේ හිස කඳින් වෙන් වී තිබිණි.

පස් කණ්ඩියට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයකු දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අනික් පුද්ගලයන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. තුවාල ලැබූ අය ඉමදූව වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

කඩා වැටීමට ලක්ව ඇති පස් කණ්ඩියේ දිග අඩි 40ක් පමණ වන අතර උස අඩි 10ක් පමණ වන බව පොලීසිය පවසයි. අනතුරට ලක්වූ පුද්ගලයන් විසින් මෙම කඳුගැටයට මායිම් වන සේ ආරක්ෂිත පැති බැම්මක් ඉදිකිරීමට අඩි තුනක පමණ කානුවක් කපා තිබේ. ඉන්පසු මෙම සේවකයින් විසින් මෙම කානුව මත කම්බිකූරු අතුරමින් සිටියදී එකවරම පස් කණ්ඩියේ කොටසක් කඩා වැටී ඇත. එයට කානුවේ කම්බි බඳිමින් සිටි සේවකයින් දෙදෙනකු යටවි ඇත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සම්පූර්ණයෙන්ම පස් කණ්ඩියට යටවී ඇත. අනික් පුද්ගලයාගේ ගෙල පෙනෙන තෙක් පස්වලට යටවී ඇත. ඒ සමඟම පස් කණ්ඩියේ අනික් කොටසද කඩාවැටී සේවකයන් දෙදෙනකු අනතුරට ලක්ව ඇති අතර, ඔවුන් දෙදෙනා දිවගොස් දිවි බේරාගෙන ඇත. විනාඩි 45ක පමණ මෙහෙයුමකින් පසුව පස් කන්දට සම්පූර්ණයෙන්ම යටවී සිටි පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇත. බැකෝ යන්ත්‍රයක් මඟින් පස් ඉවත්කොට මොහුගේ සිරුර සොයාගෙන ඇත. මෙම සිද්ධිය වන අවස්ථාවේ මෙම වැඩබිමේ සේවකයන් 06 දෙනෙකු පමණ වැඩකරමින් සිට ඇත.

මෙයට අමතරව මෙම පිරිස බේරා ගැනීමට එක්ස්කැවේටර් යන්ත්‍රය ක්‍රියාකරමින් සිටි ටෙනිසන් යන අයද වැටී තුවාල වී ඇත.

අවිධිමත් ලෙස පස් කණ්ඩියක් කැපීමෙන් එහි පස්වලට යටවී මිය ගිය අයගේ මරණ පරීක්ෂණය 10දා සවස ගාල්ල කරාපිටිය රෝහලේ දී මෙදින වැඩබැලු අතිරේක මහේස්ත්‍රාත් නීතිඥ ප්‍රේමරත්න තිරාණගම මහතා විසින් පවත්වනු ලැබිණ. ඒ මහතා මෙම සිද්ධිය වූ ස්ථානය නැරඹීමෙන් පසුව රෝහල් මෘතශරීරාගාරයට පැමිණ මළ සිරුර බලා මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට අධිකරණ වෛද්‍යවරයාට උපදෙස් දුන් අතර එයින් පසුව මළ සිරුර මියගිය අයගේ බිරියට භාර දෙන ලෙස නියෝග කරනු ලැබිණි.

මෙම ආරක්ෂිත පැති බැම්ම ඉදිකිරීමට කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු ද මෙම සිද්ධියෙන් පසු සිහිසුන්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවට ඇතුළත්කොට තිබුණි. ඔහු මෙම සිද්ධියෙන් පසු මානසික ආතතියට ලක්ව ඇති බැව් පොලිසිය පවසයි.

පසුගිය කාලය පුරා ඇද හැලුණු අධික වැසිවලින් තෙත් බරිත වී තිබූ මෙම කන්ද අවිධිමත් ලෙස කපා දැමීම සිදුකිරීමට උපදෙස් දෙනු ලැබූ පෞද්ගලික කාර්මික නිලධාරියාද එවලෙහිම අතුරුදහන් වූයේ යැයි එහි සිටි පිරිස පැවසූහ.

මෙවැනි ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අවසර දෙනු ලබන වගකිවයුතු ආයතන නියමිත නිර්නායකයන් ගැන නොතකා අවසරදීම් හා පසු විපරම් නොකිරීම මෙවැනි අනපේක්ෂිත අනතුරු සිදුවීමට ප්‍රධාන ලෙස බලපා ඇතැයි මෙම කටයුතුවලට වහා මැදිහත් වූ ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරිහු පවසති.

මෙම මරණවලට හා අනතුරට සෘජුව මෙන්ම වක්‍රවද වගකිව යුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද ඒ පිරිස් පෙන්වා දෙති.

මෙහි පස් ඉවක් කිරිම් සඳහා නිසි ලෙස අදාළ ආයතනවලින් අවසර ලබා ගත්තේ ද යන්නද බරපතළ ගැටලුකාරී තත්ත්වයකට මේ වනවිට පත් වී ඇතැයි ද මෙහි පරීක්ෂණ පවත්වන ගාල්ල පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාති පරීක්ෂණයන් රාජ්‍ය ආයතන මඟින් හා පොලිසිය මඟින් ද පැවැත්විය යුතු බවද මහජනතාව හා ආපදා කළමණාකරණ ඒකකය පෙන්වා දෙයි.

මෙම සිද්ධිය කරාපිටිය රෝහලට අතේ දුරින් තිබීම නිසා මරණ ගණන අඩු කර ගැනීමට හැකි වූ බව රෝහල් නිලධාරීහු පෙන්වා දෙති.

දික්වැල්ලේ තිලකරත්න, ගාල්ල උතුර සමූහ, ගාල්ල දිසා සමූහ නන්දසිරි වැලිගමගේ, හිනිදුම රවීන්ද්‍ර ලියනගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT