ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සඳහා සම්මාන පිරිනමන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන – 2022’ උලෙළ උත්කර්ෂවත් අයුරින් ගල්කිස්ස මහ හෝටලයේදී හෙට (12) පැවැත්වේ. ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඒකාබද්ධව සංවිධාන කරන මෙම සම්මාන උලෙළ ජනමාධ්‍යයේ වෘත්තීය ප්‍රවීණත්වය හඳුනා ගැනීම සහ එහි විශිෂ්ටත්වයට පත්වූවන් අගය කිරීම සඳහා පැවැති අතර, මෙහිදී ජනමාධ්‍යවේදීන් 36 දෙනෙකුට සම්මාන පිරිනැමීමට නියමිතයි. ඊට අමතරව ජනමාධ්‍යවේදීන් 16 දෙනෙකුට කුසලතා ඇගයීම් සහතික පිරිනැමේ.
මෙවර සම්මාන උලෙළ 24 වැනි වරට සංවිධාන කෙරෙන අතර, ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් 1999 වසරේදී ආරම්භ කළ මෙම සම්මාන උලෙළ මෙරට විශාලතම ජනමාධ්‍ය සම්මාන උලෙළ වෙයි. මෙවර මේ සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් වෙතින් අයැදුම්පත් 354ක් ඉදිරිපත්ව තිබෙන අතර, එමඟින් සම්මාන ප්‍රදානයට සුදුස්සන් තෝරා ගැනීම (මුද්‍රිත මාධ්‍ය) සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුත් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක්ද මාර්ගගත පුවත්පත් සඳහා සිවු සාමාජික ස්වාධීන විනිශ්චය මණ්ඩලයක්ද කටයුතු කර තිබේ. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස්දෙනෙකුට දීර්ඝ සේවා සම්මාන මෙහිදී පිරිනැමෙන අතර, ස්ටැන්ලි සමරසිංහ, එච්.එල්.ඩී මහින්දපාල, සීතා රංජනී, එස්. තිලෙයිනාදන් සහ ඒ.එල්.එම් නිලාම් මහත්ම මහත්මීන් මෙවර එම සම්මානයෙන් පිදුම් ලබති. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, එයිට්කන් ස්පෙන්ස්, ඩයලොග් ආසියාටා පීඑල්සී, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ඕලු වෝටර් බොට්ල්ස් යන ආයතන මෙවර සම්මාන උලෙළ සඳහා දායකත්වය දක්වන අතර, සත්කාරක අනුග්‍රහය ගල්කිස්ස මහ හෝටලය ලබාදී තිබේ. ශ්‍රී ලංකා කර්තෘ සංසදය මඟින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති, ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන සංගම්වල සහයෝගය ඇතිව ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ සංවිධානය කරයි.
නෙත්මි පූජනී රත්නායක