Sunday, May 11, 2025
Home » මහරගම නගර සංවර්ධනය වේගවත් කිරීමට උපදෙස්

මහරගම නගර සංවර්ධනය වේගවත් කිරීමට උපදෙස්

by chanaka
December 11, 2023 3:14 pm 0 comment

මහරගම නගර සංවර්ධනය, 2024 වසර තුළ වේගවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

වේගයෙන් නාගරීකරණය වන මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නගර ආශ්‍රිත සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ, එම ආයතනවල නිලධාරින් කැඳවා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීය.

ඒ අනුව හෝකන්දර නගරය දියුණු කිරීම සඳහා එම කටයුතු පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙන්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන සංවර්ධනය වේගවත් කරන ලෙස විශේෂ උපදෙසක් ලබාදෙන ලදී.

මහරගම පමුණුව ආශ්‍රිත කලාපය රෙදි පිළි තොග සහ සිල්ලර වෙළඳාමේ නිරත වෙළඳ ප්‍රජාවට බාධාවකින් තොරව එම කටයුතු පවත්වාගෙන යාමට එම මාර්ගවල ගමන් කරන බස් රථ විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරවීමේ හැකියාව සොයා බලන ලෙසත් උපදෙස් දුන්නේය.

මහරගම නගර සභාවේ කොට්ටාව උපකාර්යාලයක් ඇති කිරීම තුළින් ජනතාවට පහසුකම් සලසන ලෙස කී අග්‍රාමාත්‍යවරයා, සංවර්ධනය කර ඇති නාවින්න ක්‍රීඩාංගණය පූර්ණ වශයෙන් මහරගම නගර සභාව වෙත පැවරීම පිළිබඳ සොයාබලන ලෙස දැන්වීය.

මහරගම ඩිපෝව දැනට භාවිතා කරන අක්කර හයකට ආසන්න භූමි ප්‍රමාණය වඩා ඵලදායි, ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමට නිර්මාණශීලීව සැලසුම් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT