Sunday, May 11, 2025
Home » ඩිමෙන්ෂියා වරෝ වරෝ

ඩිමෙන්ෂියා වරෝ වරෝ

by sachintha
December 11, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ බදු ගෙවීම සහ පැනවීම හන්ටිංටන්ගේ රෝගී තත්ත්වය වැනි ආරේට යන ලෙඩකි. හන්ටිංටන්ගේ රෝගය හැඳින්වෙන්නේ මොළයේ සෛල අඩපණ වීම පිළිබඳ තත්ත්වයකි. මෙය ප්‍රවේණිගත ව්‍යාධියකි. ඔය වැනි ලෙඩකට ඇත්තේ දෛවය නම් ඔසුවය. කෙතරම් වැය බරක් දරා, අධි තාක්ෂණික ප්‍රතිකාර සඳහා යොමු කළත් හන්ටිංටන්ගේ අසනීපය දෙයියන්ගේ ලෙඩක් සේය. බෙහෙත් නැත. ආරේ බලා යන හෙයින්, මීමුත්තාගේ පටන් සකල පරම්පරාවටම හෙණ ඉල්ලා, ලෙඩාට සිටිය හැක්කේය. ඕවා එක්තරා ලෙසකට ගතහොත් පුරුදුය. ඇඟට යමක් පුරුදු වෙන සඳ, එය ජානගත වන්නේය. ඒ ජානය නිලීන වෙන්නේ නම් අවුලක් නැත. ලෙඩේ යට යන්නේය. ඊළඟ පරම්පරාවකදී, බඩු උඩ එන්නේය. එයට කියන්නේ ජාන ප්‍රමුඛ වෙනවා කියාය. ‘ස්වීප් එක ඇදෙන්නේ’ ඔය වෙලාවටය.

ලංකාවේ බදු ප්‍රතිපත්තිය යනු හතර වටින් බැණුම් අසා ආණ්ඩුව පනවන්නකි. එය දුටු ගමන් පාරේ යන එකාගේ සිට ඉහළම ධනපතියා දක්වා සියල්ලෝ සරම කරට ගෙන රඟන්නාහ. ගෙවන තැනට එන විට ටැක්ස් එක සඳහා වංගු ගැසීමට මේ සියල්ලෝම පටන් ගන්නෝය.

බදු සඳහා වංගු ගැසීම නම් විලාසිතාව විසින් මේ රටට අහිමි කර ඇති ආදායම තවම ගණනය කර නැත. ඉඳ හිට මාට්ටු වෙන කේස් එකක් ගත් විට වංගුවේ වක්‍රතාවය සිතා ගත හැක්කේය.

අයවිය යුතු බදු මුදල් රුපියල් බිලියන 5කට අධික ප්‍රමාණයක් අහිමි කරමින්, මෙරටට ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන 200ක් සම්බන්ධයෙන් විමර්ශනයක් අල්ලස් කොමිසම ආරම්භ කළේය. ඒ පිළිබඳව මූලික විස්තර කථනයක් සිකුරාදා අධිකරණයට ඉදිරිපත් විය. සහෝදර සිළුමිණ පුවත්පත සිය ප්‍රධාන සිරස්තලය බවට මේ පුවත පත් කරගෙන තිබුණි. සබන් කැටයට, සීනි, තේ කොළ ආදියට අපි බදු ගෙවන්නේ මුත් එහි ප්‍රමාණය දන්නේ නැත. වක්‍ර බදු කියන්නේ කරට අතදමා, උඩ සාක්කුවේ සල්ලි ’පික්’ කරනවා වැනි වැඩකි. මේ නිසා අපේ රටේ එදා පටන්ම තිබුණේ වක්‍ර බදු ගේමය. හැම එකාටම සමාන බද්දක් කියන විට මැද පන්තියේ ඉඳන් උඩට සිටින සියල්ලෝම හැපිය. තැළෙන පොඩි එකාට එහෙම බදු ගැන වැටහීමක් නැති හෙයින් ඒ යකා බැණ බැණ යන්නේ නිෂ්පාදකයා වෙතය. ඍජු බදු කියන්නේ ’හොයන තරමට’ ගෙවිය යුතු දෙයකි. මේ රටේ ආණ්ඩු, ඔය බද්ද සම්බන්ධයෙන් සිටියේ ‘නිශ්ශබ්ද විලියම්’ ප්‍රතිපත්තියේය. ලෝකයේ දියුණු රටවල වැඩියෙන් අය කරන්නේ ඍජු බදුය. වක්‍ර බද්ද යන්න ඒවායේ අඩු පංගුවක් දරන ආදායමකි. මේ දවස්වල මධ්‍යම පන්තියට ක්ලාන්ත වී ඇත්තේ තමන් වෙත ඍජු බදු පනවා ඇති හෙයිනි. සුඛෝපභෝගී වාහන සඳහා බද්ද යනු ආදායම් උපයන කෙනා වෙත පනවන්නකි.

මේ රටේ කොයි බද්ද දැම්මත්, එක්ටැම් ගෙදර හිර කළා සේය. ’විදින එකා’ ගේම තිතට දෙන්නේය. වාහන බද්ද සඳහා ස්ථාන කිහිපයක්ම අදාළ කරගෙන තිබේ. එකක් රේගුවය. අනික මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය ය.

දැනට ලැබී ඇති තොරතුරු අනුව වාහන සඳහා වංගු ගසා ඇති මෙතඩ් එක මෙසේය. පළමුව වාහනය ගෙන්වන ලිපිනය ලෙස කොළඹ හතේ ලිපිනයක් යුරෝපා සංගමය, ලබාදී තිබේ. ඒ රෙජිස්ටරයෙන් බඩු ගෙන්වා ‘වැඩ’ ගන්නේය. මේවා බට්ටා වාහන හෝ මෝටර් බයික් නොවේ. ලෑන්ඩ් රෝවර් ජීප්ය. එහෙම රෝද හතරවල් උඩ යන්නේ, ලොකු ලොකු පොරවල් බැවින් මහ මඟදී පොලිසිය හෝ අල්ලන්නේ නැත. බයික්, ත්‍රීවීල් ආදිය පාර අයිනේ පොකුරට නවතා ඇතත්, ඔය මට්ටමේ වාහන සඳහා නැවතීමක් ලැබෙන්නේ ඉඳහිටය. එහෙම නැවැත්තුව ද ‘කොලබොක්ක’ පීරා මේවා බල බලා සිටීමේ ක්‍රමයක් පොලිසියට නැත්තේය. එහෙම කරන්නට ගියොත්, දඩ ටාගට් එක වරදින්නේය. මේ නිසා ඕවාට යන්න කියන එක පොලිසියට ද සැපය. යුරෝපා සංගමයට ගෙනාපු වාහනය 2022 ලියාපදිංචි කර ඇත්තේ වෙනත් පුද්ගලයෙකුගේ නමිනි. තානාපති කාර්යාල, ෆොරින්ග් ඒජන්සි වැනි ආයතන සඳහා වාහන ගෙන්වන්නේ බදු රහිතවය. එහෙම වූ පළියට, කවුරු හෝ ඇඩ්‍රස් එකක් දුන්නා කියා ඔහොම පහසුවෙන් රේගුව සහ ආර්.එම්.වී. ය වාහන රෙජිස්ටර් කිරීමට ඉඩ දෙන්නේ නැත.

අප දන්නා කවුරු හෝ ගෙදර පොඩි එවුන්ට පාර්සලයක් එවූ කල්හි, රේගුවේ සැර එමටය. බඩු ටික කඩා, පුළුවන් නම් ඒ බඩු දෙකට තුනට ද කඩා බලන්නේය. වරු ගණන් රස්තියාදුය. බඩු අරං ගෙදර එන්නේ කවර ඉරාගෙන, කාටවත් පෙන්විය නොහැකි ලෙස පරණ බඩු කඩයක්, හොරට කඩාගෙන එන්නා සේය. ඒවා අපි ඉවසන්නේ හෙරොයින්, කුෂ් වැනි දේ ද පාර්සල් තැපෑලෙන් එන නිසා, මෙසේ හැම අහුමුල්ලක්ම සෝදිසි කර බැලීම සහ එය ඉවසා සිටීම ජාතික යුතුකමක් සේ ගෙනය. එහෙම වුණාට වාහන රේගුවේ කනෙන් රිංගන්නේ, කන් හැන්දට ද සිතා ගැනීමට නොහැකි තරමටය.

මේ ආකාරයේ ජව සම්පන්න තක්කඩින්ගේ බදු වංචා දැන් රටට ඉවසන්නට බැරි තැන දක්වා පත්ව තිබේ. ඒවා එම පන්තියේ ජාන සිසාරා ගොස්, හන්ටිංටන්ගේ රෝගය සේ එම පන්තියේ පාරම්පාරික උරුමයක් බවට පත්ව තිබේ. හැන්දෑවේ වර්ෂාව මැද්දේ, බසයට කෝච්චියට ගොඩ වෙන අප, බෑගය රැගෙන එයට ගොඩ වැදුණු කල්හි සර්කස් පරාදය. බස් එක ඇතුළේ යන්නේ තනි කකුලෙනි. එක් අතක බෑගය හෙයින් තනි අතින් පොල්ල අල්ලා ගත් කළ, එය කේන්ද්‍ර කරගෙන යෙදෙන අපසාරී බලය හේතුවෙන්, කවකට්ට කර කැවෙන්නා සේ හතර අතට භ්‍රමණය වන්නෙමු. ගෙදරට ඇවිත් බලන කොට රතු බිල ඇවිත්ය. ඔහොම සෙල්ලම් දමාගෙන, පොඩි පන්තියේ එකා ජීවත්වෙන කල්හි අර පන්තියේ එකා ටොයියා වාහන, ටැක්ස් නැතිව හොරට ගෙනත්, ආතල් ගන්නේය.

හන්ටිංටන්ගේ රෝගයේ එක් ලක්ෂණයක් වන්නේ, ඩිමෙන්ෂියාවය. උන්ට බදු දැලෙන් රිංගා යෑම ජානගත වෙන විට, අපිට ඩිමෙන්ෂියාව වැලඳුනා නම් හොඳය. එතකොට මේ කිසිවක් මතක නැත. ත්‍රෛලෝකයක් ඇද්දා සේ අපේ ගමන අප යන්නේය. එහෙම නැතිනම් මේවා අසන, දකින සඳ, ලෙල්ලටම තදවී ඉහ මොළ රත් වන්නේය. අපේ ආයුෂ ද කොට වන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT