Sunday, May 11, 2025
Home » ශිෂ්ට සම්පන්න රටකට මානව හිමිකම් ඉතාමත් වැදගත්

ශිෂ්ට සම්පන්න රටකට මානව හිමිකම් ඉතාමත් වැදගත්

-ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා

by sachintha
December 11, 2023 1:01 am 0 comment

අප රටට එල්ල වූ මානව හිමිකම් චෝදනා බොරු

ඇත්ත නැත්ත දැන ගන්න අපේ රටට ඇවිත් බලන්න

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ඊයේ දිනට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් මානව හිමිකම් පිළිබඳ දැනුම්වත් කිරීම, ගැටලු‍ සාකච්ජා කිරීම, ප්‍රවර්ධනය කිරීම ආදි තේමාවන් මුල්කොට ගනිමින් ලොව පුරා නන් අයුරින් වැඩසටහන් සංවිධානය කරනු ලැබිණි. නමුත් මානව හිමිකම් යනු එක් දිනකට පමණක් සීමා කළ හැකි මාතෘකාවක් නොවන්නේ, වසරෙහි අනෙකුත් සෑම දිනකම පාහේ නන් අයුරින් කරළියට පැමිණෙන්නා වූ මාතෘකාවක් වීම නිසාවෙනි. ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සමඟ පැවත් වූ සාකච්ඡාවකි.

මානව හිමිකම් යන වචනය සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වුවද ඒ පිළිබඳ නිසි දැනුම්වත්භාවයක් රහිත පුද්ගලයින් සමාජයේ ජීවත් වෙනවා, මානව හිමිකම් යනු මොනවා ද?

මානවයා සිය ශ්වසන ක්‍රියාවලිය ඇරඹි මොහොතේ සිට මිය යන තුරුම, රජයට හෝ කිසිදු පුද්ගලයෙකුට උදුරාගත නොහැකි අයිතීන් සමුදාය මානව හිමිකම් ලෙසින් හැඳින්වෙනවා. එනම් කිසියම් මිනිසෙකු උපත ලැබීමට පෙර එනම් ගර්භාෂයේ සිටින කාලයේදීම එම පුද්ගලයාට මානව හිමිකම් හිමි වෙනවා. මිනිසෙක් ලෙස ඉපදීම මුල්කොට ගනිමින් ලොව ඕනෑම ස්ථානයක ජීවත්වෙන මිනිසුන්ට උපතින්ම ඔවුන්ගේ පැවැත්ම උදෙසා ලැබෙන්නා වූ අයිතීන් තමයි මානව හිමිකම් කියන්නේ.

වර්තමානයෙහි අප මානව හිමිකම් පිළිබඳ කතාබහ කළමුත් එහි ඉතිහාසය වසර ගණනාවක් අතීතයට විහිදී තිබෙන්නක්. මානව හිමිකම්හි ඉතිහාසය පිළිබඳව තිබෙන්නාවූ විශ්ලේෂණය මොන වගේද ?

මීට වසර 2500කට පමණ ඉහතදී මිසරයෙහි හමුරාබිවරුන්, පර්සියන්වරු අතරින් තමයි මානව හිමිකම් කරළියට පැමිණෙන්නේ. ප්‍රධාන වශයෙන්ම පර්සියන්වරුන් විසින් මානව හිමිකම් ඉතාමත් ඉහළින් පිළිගනු ලැබුවා. එපමණක් නොවෙයි, ඔවුන් අතර මූලික නිදහස කියන කාරණාව උපතින්ම පැවති දෙයක්. අතීතයේ පර්සියන්වරු යටතේ ක්‍රියාත්මක වුණු උසාවිවලත් මේ මානව හිමිකම් පිළිගත් බව දක්නට ලැබෙනවා.ඉන්පසුව 1215 වර්ෂයේදී මැග්නා කාර්ටා මහා මානව හිමිකම් සම්මුතිය මහා බ්‍රිතාන්‍යයේදී පිළිගැනීමට ලක්කොට අත්සන් තැබීම සිද්ධ වෙනවා.නීතියක් ලෙස නොවුණද එම සම්මුතියෙහි මානව හිමිකම් අඩංගු වෙනවා. නමුත් ඊට පෙර ලංකාවේ වේවැල්කැටිය පුවරු ලිපිය, පස්වන මිහිඳු රජතුමාගේ සෙල් ලිපිය, බදුලු‍ ටැම් ලිපිය ආදියෙහි මානව හිමිකම්, ආර්ථික අයිතිවාසිකම් පිළිබඳව ඉතාමත් පැහැදිලිව දක්වලා තියෙනවා. එයින් අපිට පැහැදිලි වෙන්නේ මානව හිමිකම් පිළිබඳව බටහිර රටවලට ප්‍රථම අපරදිග රටවල් සාකච්ඡා කරලා තියෙනවා කියලා. ඒ වගේම තමයි ලෝකයෙහි පවතින සෑම ආගමක ඉගැන්වීම් ඔස්සේත් මානව හිමිකම් තහවුරු කරලා තියෙනවා.පසුකාලීනව දෙවන ලෝක සංග්‍රාමයේදී ඇඩොල්ෆ් හිට්ලර් විසින් සිදු කරන ලද විනාශයත් සමඟ නැවත එවැනි තත්ත්වයක් ලෝකයෙහි ඇති නොවීමට 1945 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නවා. පසුව 1948 දෙසැම්බර් 18 වන දින විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් තැබීම සිදු කරනවා. සාමය සඳහා එක්වූ ජාතීන් පනහක් සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර, කැලිෆෝනියාවේ, අමෙරිකා එක්සත් ජනපදයේදී අත්සන් කළ මෙම ලියවිල්ලෙහි සමාජ ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික අයිතිවාසිකම් අඩංගු වගන්ති තිහක් ඇතුළත් වෙනවා.මෙම විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තිය 1955 ජූනි මස ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් ශ්‍රී ලංකාවෙහි පිළිගැනීමට ලක් කරනවා. 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එය නීතියක් බවට පත්වෙනවා.

මානව හිමිකම් සමාජයට මෙතරම් වැදගත් වෙන්නේ ඇයි ?

මානව හිමිකම්වල වැදගත්කමක් තමයි මිනිසාට ගරුත්වයකින් යුතුව සැලකීමට මඟ පෙන්වීම. ඒ වගේම තමයි මානව හිමිකම් බොහෝවිට පවත්නා රජයත් සමඟ බැඳී පවතිනවා.එවිට මහජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරදීම රජයෙහි වගකීමක් වෙනවා. මානව හිමිකම්වල තවත් වැදගත්කමක් තමයි මානව හිමිකම් ඔස්සේ ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිවීම සහ නීතිය සියල්ලන් අතරේ සර්ව සාධාරණ ලෙස බෙදී යාම සිදු වීම. මොකද නීතිය වෙනත් ආකාරයකට බෙදී ගියහොත් අයිතීන් දිනා ගැනීමේදී වර්ගීකරණයට ලක්වීම හේතුවෙන් ගැටලු‍ ඇති වෙන්න පුළුවන්. මූලික වශයෙන් සමාජයක් ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පත් කරලීමට සියලු‍ දෙනාම එකම තත්ත්වයෙහි ලා සලකමින් ඉදිරියට යන්න අවශ්‍ය වෙනවා. එයට අවශ්‍ය පසුබිම මානව හිමිකම් ඔස්සේ නිර්මාණය කරලා දෙනවා. ඒ වගේම තමයි සෑම පුද්ගලයකුම එක හා සමානව උපත ලැබූවද යම් යම් කාරණාවන් මත ඔවුන් වර්ගීකරණයට ලක්වෙනවා. නමුත් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නා වූ රටක එහෙම කරන්න බෑ. මොකද මානව හිමිකම් කියලා කියන්නේ සර්ව සාධාරණව ක්‍රියාත්මක වන දෙයක්. මිනිසත්භාවය තුළ මිනිසුන් ආරක්ෂා කිරීමට තමයි මානව හිමිකම් යන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ.

කිසියම් රාජ්‍යයක තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී මානව හිමිකම්වල දායකත්වය කෙබඳු ද ?

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දී තිබෙන 2030 වර්ෂය සඳහා වන තිරසර සංවර්ධන ඉලක්කවල අන්තර්ගත වැදගත්ම කාරණයක් තමයි මානව හිමිකම් කියලා කියන්නේ. කිසියම් රටක් තිරසර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කරන විට අවධානය යොමු කළ යුතු ප්‍රධානම කාරණාවක් ලෙස මානව හිමිකම් හඳුන්වන්න පුළුවන්. මානව හිමිකම්වලට ගරු කරමින් තිරසර සංවර්ධනයක් ඔස්සේ ඉදිරියට යන රටක ජනතාව මන්ද පෝෂණයෙන් පෙළීම හෝ කුසගින්නේ මිය යන්න බැහැ. මොකද මෙලොව උපත ලබන සෑම පුද්ගලයෙකුටම තම ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට අයිතියක් තියෙනවා. ඒවා රජයෙන් සපයන්න ඕනි. ඒ කාරණාව සම්පූර්ණ කරගන්න නම් දරිද්‍රතාව ඉවත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. දරිද්‍රතාව ඉවත් වූ රටක සියලු‍ දෙනාටම එක හා සමානව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙනවා. මේ සඳහා තමයි වෙනත් රටවල රැකියා නොමැති පුද්ගලයින් සඳහා දීමනාවක් ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවට තවම ඒ තත්ත්වයට ගමන් කරන්න බැහැ. ඒ වගේම තමයි සංවර්ධනය වෙමින් පවතින රටවල අල්ලස දූෂණය ඉහවහා ගිහින් තියෙනවා. රාජ්‍ය වියදම නිසි ලෙස කළමනාකරණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තුළින් ජනතාවගේ අයිතිවාසිකම් නැති වෙලා යනවා. මානව හිමිකම්වල මූලිකව තියෙන කාරණාවක් තමයි අල්ලස සහ දූෂණයෙන් තොර ස්ථිරසාර සංවර්ධනයක් පවත්වාගෙන යෑම. කිසිදු වර්ගීකරණයකට ලක් නොවී සෑම මනුෂ්‍යයෙකුටම එක හා සමානව සලකන්න ඕනේ. ඔවුන්ට භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ලබා දෙමින් ඔවුන්ගේ අදහස්වලට ඉඩක් දෙන්න ඕන. ඒ සඳහා මානව හිමිකම්වලට ගරු කරන සමාජයක් ගොඩනැංවීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ ඔස්සේ මානුෂ ගුණාංග වර්ධනය වෙනවා.

බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල වෙන චෝදනාවක් තමයි ලංකාවේ සුළු ජාතීන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඔවුන් තාඩන පීඩනවලට ලක් කරනවා කියන කාරණාව. මේ පිළිබඳව ඔබතුමා දරන අදහස කුමක්ද?

විවිධ රටවල් ලංකාවෙහි මානව හිමිකම් කඩවීම් පිළිබඳව විවිධ වාර්තා ඉදිරිපත් කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී වුණත් අපේ රටට එරෙහිව යෝජනා රාශියක් සම්මත වෙනවා. ඒ සම්මත කරගන්න යෝජනාවලින් කියවෙන්නේ උතුරේ සිටින ජනතාවගේ ඉඩම් ඔවුනට නොදී ඉන්නවා, අත්අඩංගුවට ගන්නවා, ව්විධ බලපෑම් කරනවා සහ ඒ ඔස්සේ ඔවුනගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියන කාරණාව. නමුත් කැනඩාවේ මහා විරුවන් සමරනවා. ඔවුන් මේ සමරන්නේ ත්‍රස්තවාදීන්ව. මේ පිළිබඳව ලෝකේ කොහෙවත් කතාබහ වෙන්නේ නැහැ. එවැනි පසුබිමක ලාංකීය සුළු ජාතීන් මතට කොතරම් පීඩනයක් එල්ල වී තිබෙනවාද නැතිද යන වග ඔවුන් පැමිණ ඔවුන්ගේ සියැසින්ම දැක බලාගැනීම වැදගත්. මේ වෙද්දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හොඳින් ක්‍රියාත්මක වෙනවා, උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පාලන කටයුතු, උසාවිවල නඩු ඇසීම ආදී සන්නිවේදන කටයුතු දමිළ භාෂාවෙන් සිද්ධ වෙනවා. තරග විභාගවලට සහභාගී වීම, අධ්‍යාපන අවස්ථාව වෙත ප්‍රවේශ වීම ආදී අවශ්‍යතා සපුරා දී තිබෙනවා. ඒ ඔස්සේ උතුරු නැඟෙනහිර ප්‍රදේශයට දකුණත් සමඟ එකතුවෙලා කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරලා දීලා තියෙනවා. නමුත් ගැටලුව වෙන්නේ ඇතැම් කණ්ඩායම් ඔවුනගේ ද්‍රවිඩ ඊළාම් නිජබිම ලබා ගැනීමට මේ තත්ත්වය භාවිත කිරීම. ඔවුන් පවසන අන්දමට මේ පීඩනයෙන් නිදහස් වීමට ස්වයංනීර්ණ අයිතිය ඔවුන්ට ලබා දෙන්න ඕනේ. මේ පිළිබඳව කටයුතු කිරීමේදී රජයටත් යම්කිසි වගකීමක් පැවරෙනවා. ඒ පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ ආදිය පැවැත්වීම. ඒ වගේම, කියන්න ඕනිම කරණාවක් තමයි නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙනවා නම් එය වැරදියි. අපි දන්නවා උතුරේ තරුණයෙක් අත්අඩංගුවට අරගෙන පොලිසිය පහර දීලා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පවා ලක්වුණා. එවැනි කාරණාවලදී මේ ආකාරයට නිසි ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. එපමණක් නොවේ උතුරේ වගා කටයුතු සිදු කිරීම ඉතාමත් අපහසුයි. එයට හේතුව ඔවුන් වගා කරන්නේ ආඬියා ළිංවලින්. එහෙනම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඔවුනට ලබා දෙන්න ඕනේ. වර්තමානය වෙනකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තු බොහෝ දෙනා නිදහස් කරලා තියෙනවා.

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නාවූ ක්‍රියාකාරීන් හට බොහෝ තාඩන පීඩන එල්ල වන අවස්ථා අසන්නට දකින්නට ලැබෙනවා ?

මානව හිමිකම් ක්‍රියාකාරීන්, සංවිධාන සහ ජනමාධ්‍යවේදී සංවිධාන නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. ඔවුන් රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන අවස්ථාවන්හිදී කතා කරනවා. එය විය යුතුම දෙයක්. එයට හේතුව වන්නේ, මානව හිමිකම් ක්‍රියාකාරී මට්ටමින් පවත්වාගෙන යෑම රජයට විතරක් කරන්න පුළුවන් කාර්යයක් නොවීමයි. ඒ වගේම තමයි අප මානව හිමිකම් පිළිබඳ ජනතාව දැනුම්වත් කරන්න ඕන. එම දැනුම්වත් වීම තුළින් තමයි ජනතාව ශක්තිමත් වෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සලෙහි සැසිවාරවලදී සිවිල් ක්‍රියාකාරී පුරවැසියන් සහ සිවිල් සංවිධාන දැනුම්වත් කිරීමට වෙනම දිනයක් කරලා තියෙනවා. එහිදී රාජ්‍ය නියෝජිතයන්ට දැනුම් දෙනවා ඔවුනගේ ආරක්ෂාව සපයලා දෙන්න කියලා. මොකද භාෂණ ප්‍රකාශනයේ නිදහස, සාධාරණ ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් තියෙනවා. බලය තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සහ එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සලය තුළ මේ දේ සිදු වෙනවා. මෙහිදී අපිට තියෙන මූලිකම කාරණය තමයි මානව හිමිකම් පිළිබඳ දැනුම්වත්භාවය ඉදිරියට අරන් යන්නේ කොහොමද කියන දෙය. එය ඉතාමත් වැදගත්. ඒ නිසා මේ සිවිල් සංවිධාන, පුරවැසියන් ආරක්ෂා කරන්න ඕනේ මොකද ඔවුන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන්.

වර්තමානයෙහි මානව හිමිකම් උල්ලංඝනය වන අවස්ථා විශාල වශයෙන් වාර්තා වෙනවා. එවැනි අවස්ථාවක දී අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

මූලික වශයෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයෙහි 11 සිට 15 දක්වා තිබෙන්නා වූ වගන්ති උල්ලංඝනය වීමක් සිදුවුවහොත් මාසයක් ඇතුළත 120 වැනි ව්‍යවස්ථාව යටතෙහි පුරවැසියාට හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට ඍජුවම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ල ඉදිරිපත් කොට සහන ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි 156 වැනි ව්‍යවස්ථාව යටතෙහි පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයෙක් (ඔම්බුඩ්ස්මන්වරයෙක්) ඉන්නවා. රාජ්‍ය ආයතනයක් හෝ රාජ්‍ය නිලධාරීන් මඟින් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ අනෙකුත් උල්ලංඝනය වීම් පිළිබඳව ඔහුට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. මෙලෙස එවනු ලබන පැමිණිලි ඔම්බුඩ්ස්මන්වරයා විසින් සලකා බලා විභාග කළ හැකි මට්ටමේ පවතී නම් පැමිණිලි පිළිබඳව ඉදිරි කටයුතු සිදුකරන අතර කැඳවා සාධාරණ පරීක්ෂණයක් පවත්වා නිර්දේශ ලබාදීමට පියවර ගන්නවා. කිසියම් මානව හිමිකම් කඩවීමක් පිළිබඳව පියවර ගැනීමට අයදුම් පත්‍රය පුරවා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතටද පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා.

මානව හිමිකම් පිළිබඳ නිසි දැනුම්වත්භාවය මානව හිමිකම් කඩවීම් අවම කිරීමට හේතු වෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස කෙබඳුද ?

මෙහිදී වැදගත්ම කාරණය තමයි මානව හිමිකම් අධ්‍යාපනය. එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්තුමිය වන ආචාර්ය නවනීදන් පිල්ලෙයි පැවසූ ආකාරයට මානව හිමිකම් අධ්‍යාපනය මඟින් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ශීඝ්‍ර ලෙස පහත දාන්න පුළුවන්. මොකද ඒ ඔස්සේ ප්‍රධාන වශයෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන පරිසරයක්, මානව හිමිකම්වලට ගරු කරන සංස්කෘතියක් බිහිකරන්න පුළුවන් වෙනවා. එවැනි සමාජයක් තුළ මානව හිමිකම් උල්ලංඝනය වීමට පෙර වළක්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මුල්කරගෙන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීම අනිවාර්ය වෙනවා. මෙහිදී මූලික අයිතිවාසිකම් යනු මොනවාද, ඔවුන් කටයුතු කළ යුත්තේ කුමන සීමාවන් යටතේද යන දැනුම ලබාදීම අවශ්‍ය වෙනවා.

මානව හිමිකම් සුරැකීම කෙරෙහි අවධානය යොමුවිය යුත්තේ කෙසේ ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය 75 වැනි වරටත් පවත්වනු ලැබුවා.නමුත් ඉදිරියේදීත් මෙවැනි දින පැවැත්වීම පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම් තුනක් පමණයි තියෙන්නේ. අපට ලබා දෙන්නාවූ නිර්දේශ එම අවස්ථාවේදී පමණක් අපි ක්‍රියාත්මක කළා වුණත් එම නිර්දේශ සම්මත වීමෙන් පසුව ක්‍රියාමාර්ග ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. මේ වනවිට ඊශ්‍රායල් පලස්තීන යුදමය වාතාවරණය හේතුවෙන් විශාල වශයෙන් ජීවිත හානි සිද්ධ වෙනවා. නමුත් කිසිම කෙනෙක් මේ ගැන කතා කරන්නේ නැහැ. ඒත් ලංකාව දිහා මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා. යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවුවහොත් එල්.ටී.ටී.ඊ. හිතවාදී ඩයස්පෝරාව ඉස්මතු වෙනවා. මේ හේතුවෙන් අපි එම ඩයස්පෝරාව සමඟත් සාකච්ඡා පවත්වන්න ඕනේ. මොකද අපි හැමෝම මිනිස්සු. දැන් යුද්ධය අවසන්. මෙහිදී සාධාරණ යුක්තියක්, සර්ව සාධාරණයක් ඉල්ලමින් සෑම ජාතියක්ම, සෑම ආගමක්ම එකතුවෙලා ප්‍රතිසංවිධානය, ප්‍රතිසංස්කරණය වැනි මාතෘකා පිළිබඳව සාකච්ඡාවක් ඉදිරියට රැගෙන යාම අත්‍යාවශ්‍ය කාරණාවක් වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT