Sunday, May 11, 2025
Home » දික්කසාදය ලේසි කරන නව කෙටුම්පත් 3ක්

දික්කසාදය ලේසි කරන නව කෙටුම්පත් 3ක්

by sachintha
December 11, 2023 1:07 am 0 comment

යල්පැනගිය නීතිවල රැඩිකල් වෙනසක්

දික්කසාද ලබා ගැනීම වඩාත් පහසු කෙරෙන නව පනත් කෙටුම්පත් තුනක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දිනමිණට පැවසීය. මේ අනුව විවාහ හේතූන් පිළිබඳ පනත, විදේශ දික්කසාද විනිශ්චයන් පිළිගැනීමේ පනත සහ සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධන ඉදිරිපත් කෙරේ.

දික්කසාදය ලබා ගැනීමට දැනට දැඩි ලෙස සීමා පැනවෙන යල් පැන ගිය නීති රැඩිකල් ලෙස ප්‍රතිසංස්කරණය කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. තුන්වන පාර්ශ්වයක් සමඟ කලත්‍රයකු අනාචාරයේ හැසිරීම, ද්වේෂ සහගතව හැරයාම හෝ විවාහ වන අවස්ථාවේදී බෙලහීනත්වය යන කරුණු තුනෙන් එකක් දැනට දික්කසායක් ඉල්ලා සිටින අයකු අධිකරණය හමුවේ ඉදිරිපත් කළ යුතු වේ. එම කරුණු ඔප්පු කිරීමේ වගකීම දික්කසාදය ඉල්ලා සිටින පුද්ගලයා මත පවතින අතර එවැනි හේතු සාධක ඔප්පු කිරීම අතිශයින් දුෂ්කර මෙන්ම සමහර දික්කසාද නඩු වසර 10-20 දක්වා ඇදී යාම කරුණු සලකා බලා මෙලෙස දික්කසාද නීතීය සංශෝධනය කිරීමට අදහස් කළ බවද අමාත්‍යවරයා කීය.

නව විවාහ හේතූන් පිළිබඳ පනත අනුව කුමන හේතුවක් නිසා හෝ විවාහයක් ආපසු හැරවිය නොහැකි ලෙස බිඳ වැටී ඇති බව සහ දෙපාර්ශ්වයටම සාමකාමීව තම විවාහ ජීවිතය කරගෙන යාමට නොහැකි බව අධිකරණයට ඒත්තු ගියහොත්, අධිකරණයට දික්කසාදය ලබා දිය හැකිය. දික්කසාදය හැරුණු විට, විවාහක එක් අයකු හෝ දෙදෙනාම වයස අවුරුදු 18ට අඩු වීම වැනි හේතු නිසා විවාහ අවලංගු කළහැකි අතර, විවාහය විසුරුවා හැරීමකින් තොරව කලත්‍රයින්ට වෙන්වීමක් ඉල්ලා සිටිය හැකි අතර, එය වත්මන් නීති යටතේ ද පවතී. අඹුසැමියන් අතුරුදන් වූවන් සඳහා දික්කසාදය පහසු කිරීමට නව නීති සම්පාදනය කෙරේ. සාක්‍ෂි ආඥා පනතේ 108 වැනි වගන්තිය යටතේ යම් පුද්ගලයකු වසරක්‌ අතුරුදන් වී ඇත්නම් ඔහු හෝ ඇය මියගොස්‌ ඇති බවට උපකල්පනයක්‌ ඇත. ඒ අනුව දික්කසාදය ඉල්ලා සිටින අයකුට පුවත්පත්වල දැන්වීමක් පළ කරමින් සහකරු හෝ සහකාරියට නියමිත දිනයක අධිකරණයේ පෙනී සිටින ලෙස හෝ තමා ජීවතුන් අතර සිටින බවට සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙසට දැන්වීමක් පළ කළ හැකිය.

එසේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් සහ ඔවුන් ජීවතුන් අතර සිටින බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළහොත් දික්කසාදය ලබා දෙනු ලැබේ. විවාහයක් නිෂ්ප්‍රභ කළද එවැනි විවාහයකින් බිහිවන දරුවන්ගේ සුජාතභාවය ආරක්ෂා වන අතර ජීවිතාන්තය, දේපළ නිරවුල් කිරීම සහ බාලවයස්කරුවන්ගේ නඩත්තුව වැනි ගැටලු ආවරණය කෙරේ. වයස අවුරුදු 18ත් 21ත් අතර වැඩිහිටි දරුවන්ට ඔවුන්ගේ නඩත්තු හා අධ්‍යාපන වියදම් පියවා ගැනීම සහතික කිරීමද මෙම නීතීය මඟින් ආවරණය කෙරේ.

උසාවියට ඔවුන්ගේ වත්කම් සහ ආදායම අනුව, විවාහක එක් අයකුට හෝ දෙදෙනාටමද ගෙවීමට නියෝග කළ හැකිය. විදේශගතව සිටියදී අතුරුදන් වූ අඹුසැමියන්ගෙන් දික්කසාද වීමට බලාපොරොත්තු වන අයට අධිකරණයේ දිවුරුම් ප්‍රකාශයක් ගොනු කර තම සහකරුවා වෙනුවෙන් සිතාසියක් ලබා ගැනීමට හැකි වන අතර එය පුවත්පතක පළ කළ හැකිය. නියමිත දිනට සහකරු හෝ සහකාරිය උසාවියට පැමිණීමට අපොහොසත් වුවහොත්, සිතාසිය භාර දුන් බව සලකනු ලබන අතර, ඔහු හෝ ඇය නොමැතිව නඩුව දිගටම කරගෙන යා හැකිය. විදේශීය දික්කසාද විනිශ්චයන් පිළිගැනීමේ පනත යටතේ, ශ්‍රී ලංකාව තුළ විදේශීය අධිකරණ මඟින් ලබා දෙන දික්කසාදයන් පිළිගනු ලැබේ. ශ්‍රී ලංකාවේ අධිකරණ බලය පිළිගත් රටවල් ගැසට් කරන අතර එවැනි රටවල අධිකරණයකින් දික්කසාද වූ අය තීන්දුවේ සහතික පිටපතක් ඉදිරිපත් කළ යුතු අතර එය මෙරට ලියාපදිංචි කෙරේ. මේ අතර හදිසි සහ අතුරු අධිකරණ නියෝග සහ සිතාසි දුරකතන ඇමතුම්, විද්‍යුත් තැපෑල සහ වට්ස්ඇප් පණිවිඩ හරහා විවිධ ආකාරවලින් ලබාදිය හැකි පරිදි නීති සංශෝධනය කිරීමට ද රජය අදහස් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT