Home » රටට වැඩදායක ආණ්ඩුවේ යෝජනාවලට විපක්ෂයේ සහාය දෙනවා

රටට වැඩදායක ආණ්ඩුවේ යෝජනාවලට විපක්ෂයේ සහාය දෙනවා

by sachintha
December 11, 2023 1:01 am 0 comment

ජනප්‍රිය දේශපාලනයෙන් එහාට ගොස් රටට වැඩදායක ආණ්ඩුවේ යෝජනාවලට විපක්ෂයක් විදිහට සහාය ලබා දෙන්නේ යැයි සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැසීය. වැට් බදු සම්බන්ධයෙන් පැහැදිලිතාවක් නොමැති බවත් වහෙන් ඔරෝ භාෂාවෙන් වැට් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. ජනප්‍රිය දේශපාලනයෙන් එහාට ගොස් කළ යුතු වැඩ කිරීම සඳහා අපි වගකීමෙන් කටයුතු කරනවා. 97ක් නිදහස් කරනවා කීවේ නිදහස් කිරීම ඉවත් කර ගන්නවා. ඒ කියන්නේ නිදහස් කරලා තිබෙන ඒවා ඉවත් කරනවා කියන එක. එවිට වැට් එක වදිනවා. වහෙන් ඔරෝ භාෂාවෙන් තමයි මේ කියලා තිබෙන්නේ. ඇමැතිවරයා කීවේ 97ක් නිදහස් කරනවා කී ඒවා ඒ නිදහස් කර ගැනීමෙන් ඉවත් කර ගන්නවා කියලා.

දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 15ක්වත් ආදායම නැත්නම් මේ වැඩ කරගෙන යන්න අමාරුයි කියලා කීවා. අපි සියයට සියයක් පිළිගන්නවා. දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 20ක් ආදායම තිබුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ. 1994දී පැමිණි ආණ්ඩුව ජනප්‍රිය දේශපාලන තීරණ ගත්තා. ඒ 94 සිට ගත් ජනප්‍රිය තීරණ නිසා බදු බිලියන හය හත්සීයක් නැතිවෙලා සියයට 8කට ආදායම පහළට වැටුණා. බුද්ධි මණ්ඩපයේ ආචාර්ය මහීන් මෙන්ඩිස්, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය නෙවිස් මොරායස්, උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥවරයා හරහා නඩුවක් දැම්මා. ඒ නඩුවට රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥවරයා තමයි අනෙක් පැත්තෙන් කතා කළේ. ඒ අය නඩුව පැරදුණා.

ආර්ථික කඩා වැටීමට වග කිව යුත්තේ කවුද කියලා එහි තිබෙනවා. රාජපක්ෂවරුන් තිදෙනෙක් එහි සිටිනවා. කබ්රාල්, පී.බී. ජයසූරිය එහි සිටිනවා. මෙවැනි බදු සංශෝධන ඉදිරිපත් කරන විට මීට වඩා සත්‍යවාදී විය යුතුයි. සියලු වැට් බදු 15 සිට 18 දක්වා ගෙන යාමක් මෙමඟින් සිදු කරනවා. අද සිට 0 සිට 18 දක්වා වැට් බදු ගහනවා. මුදල් කාරක සභාවට මේක ගෙනාවම අපි අපහසුතාවට පත් වුණා.

දරුවන්ට දෙන පෝෂණ ගුලිවලට බදු ගහන්න එපා කියලා අපි ආයාචනා කළා. ගිලන් රථවලට පවා වැට් ගහනවා. සෝලාර් පවර්වලටත් වැට් ගහලා තිබෙනවා. ආණ්ඩුව වැට් බදු ගහන ලැයිස්තුව සිංහල භාෂාවෙන් ලබා දෙන්න. එම ලැයිස්තුව ලබා දී තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT