ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් සහයෝගය දිය හැකි හොඳ දැනුම ඇති මානව සම්පතක් රටට අහිමි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව අදහස් පළ කළේ විද්‍යා අංශය මඟින් මෙරටට මහඟු සේවයක් ඉටු කළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ 100 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඊයේ (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය (AI Corner) විවෘත කිරීමද මේ හා සමගාමිව ජනාධිපතිවරයා අතින් සිදු විය. උත්සව ස්ථානයේ තැන්පත් කර තිබු ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පිළිරුව විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ 100 වැනි ගුණ සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරිණි. එසේම ජන්ම දින සැමරුම් උත්සවය සාර්ථක කරගැනීමට දායකත්වය දැක්වූ අය වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර පවුලෙන් පිරිනැමුණු උපහාර පත්‍රය පිළිගැන්වීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා අතිනි. ‘උසස් අධ්‍යාපනය සහ සංවර්ධනයේ කාර්යභාරය’ මැයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෙහිදී විශේෂ දේශනයක් සිදු කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:
“මම ස්ටැන්ලි විජේසුන්දර මහතා හඳුනාගෙන සිටියේ කුඩා කාලයේ සිටයි. එතුමා විවාහ වුණේ අනෝජා විජේවර්ධන මැතිනිය සමගයි. වෝල්ටර් විජේවර්ධන මැතිතුමාගේ පවුලත් අපේ පවුලත් අතර ඉතා සමීප සබඳතාවක් තිබුණා. එසේම 1968දී මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විට ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටියා. මම නීති අංශයේ අධ්‍යාපනය ලැබූ අතර, එතුමා විද්‍යා අංශයේ කටයුතු කළා. ඉන් පසුව එතුමා විටින් විට මුණගැසීමට මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් 1977 වර්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ බිහි වූ ආණ්ඩුවේ ස්ටැන්ලි විජේසුන්දර මහතා, ස්ටැන්ලි කල්පගේ මහතා සමඟ සමීපව කටයුතු කළා. නව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සකස් කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළා.
“මේ අතර ස්ටැන්ලි විජේසුන්දර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කිරීමට තීරණය කෙරුණා. එවකට උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක විජේරත්න ඇමැතිවරයාත් ඊට එකඟ වුණා. එතැන් සිට කොළඹ විශ්වවිද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ස්ටැන්ලි විජේසුන්දර මහතා විශාල වැඩකොටසක් සිදු කළා. මටත් අවශ්‍ය වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ විශාල දියුණුවක් දකින්නයි. කෙසේ හෝ ඒ කටයුතු ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා ඉදිරියට ගෙන ආවා. විශේෂයෙන් එහි විද්‍යා අංශයේ දියුණුවට ආචාර්ය සමරනායක මහත්මයා සමග එතුමා විශාල වැඩ කොටසක් කළා වගේම පරිගණක මධ්‍යස්ථානයත් ආරම්භ කළා. ඒ වගේම විද්‍යා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳ එතුමා දැඩි ළැදියාවක් දැක්වුවා.
“උපාලි විජයවර්ධන මහත්මයාගේ මරණයෙන් පසු කැලණිය රජමහා විහාරයේ නිලමේවරයා ලෙස ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා පත් වුණා. මම එහි දායක සභාවේ සාමාජිකයකු ලෙස එතුමා සමඟ වැඩ කටයුතු කළා.
“ස්ටැන්ලි විජේසුන්දර මහතා පමණක් නොවෙයි, දැනුම තිබෙන සහ අධ්‍යාපනට මහත් සේවයක් කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනකුම ඒ සමයේදී ඝාතනයට ලක් වුණා. ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කළා වගේම මොරටුව විශ්වවිද්‍යාලය වෙනුවෙන් විශාල සේවයක් කළ බටුවත්තවිතාන මහතාද එලෙස ඝාතනය කෙරුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් ආචාර්යවරයෙක් ඝාතනය කරනු ලැබුවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ වමේ සංවිධානවල කටයුතු කළ දයා පතිරණ ශිෂ්‍යයා රැගෙන ගොස් ඝාතනය කිරීමත් සමඟ මෙම පසුබිම නිර්මාණය වුණා. මේ සමයේදී ශිෂ්‍යයන් ගණනාවක් ඝාතනයට ලක් වුණා. පොලිසියෙන් නෙවෙයි මේවා කළේ. පොලිසියෙන් කරන්නේ පෙළපාළි ගිහින් නීති කැඩූ විට අද මෙන් ඊට අදාළ පියවර ගැනීම පමණයි. මේ ඝාතන කළේ පොලිසියෙන් නොවන බව අප මතක තබාගත යුතුයි. ආචාර්යවරු ගණනාවක් ඝාතනය කළා. ඒ වගේම කොළොන්නාවේ සද්ධාතිස්ස හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ ගණනාවක් ඝාතනය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ ශිෂ්‍යයා ඝාතනය කළ සමයේ එහි උපකුලපති ලෙස කටයුතු කළේ ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා. පොලිසියට අවශ්‍ය වුණා එහි ශිෂ්‍යයන් අරගෙන ගොස් ප්‍රශ්න කරන්න. ඒත් එතුමා ඊට ඉඩ දුන්නේ නැහැ. එතුමා මටත් කථා කළා. මම කිවුවා මේක ශිෂ්‍ය කටයුත්තක්, ඒකට අත ගහන්න ගියොත් ප්‍රශ්න ඇති වෙයි කියලා. ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් සහයෝගය දිය හැකි හොද දැනුම ඇති මානව සම්පතක් රටට අහිමි වුණා.
“එතුමාගේ 100 වැනි ජන්ම දිනය වෙනුවෙන් තමයි අද අප මෙතැනට රැස් වී සිටින්නේ. එතුමාගේ ගුණ සැමරීම වෙනුවෙන් මීට පෙර උත්සව ගණනාවක් පැවතුණා. එහෙත් අද එය වෙනස් අන්දමින් සමරනු ලබනවා. අද කොළඹ විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මාධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබුවා. අද ලෝකය ඉදිරියට යන්නේ කෘත්‍රිම බුද්ධිය සමඟයි.”
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, අගමැති දිනේෂ් ගුණවර්ධන, ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැතිවරුන් වන ශාන්ත බණ්ඩාර, අනුප පස්කුවල්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජිත සේනාරත්න, යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අගමැති ලේකම් අනුර දිසානායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන, තැපැල්පති රුවන් සත්කුමාර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහත්ම මහත්මීන් සහ ශාලිත විජේසුන්දර, වෛද්‍ය රොහාන් විජේසුන්දර රුචිනි විජේසුන්දර, දනූ විජේසුන්දර මහත්ම මහත්මීන් ඇතුළු ස්ටැන්ලි විජේසුන්දර පවුලේ ඥාතීන් ප්‍රමුඛ ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටියහ.
ඡායාරූප – නිශ්ශංක විජේරත්න
උපාලි කරුණාරත්න