Home » මාධ්‍යවේදීන්ගේ ණය යෝජනා ක්‍රම යළි ඇරඹීම රජයේ වගකීමක්

මාධ්‍යවේදීන්ගේ ණය යෝජනා ක්‍රම යළි ඇරඹීම රජයේ වගකීමක්

by sachintha
December 11, 2023 1:00 am 0 comment

මන්ත්‍රී අනුර කුමාර දිසානායක

මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගැයීම සඳහා සහනදායි ණය යෝජනා ක්‍රම යටතේ නිවාස, වාහන, උපකරණ ලබා දීම නැවත ආරම්භ කිරීම රජයේ වගකීමක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (08) පැවසීය.

සමාජය වෙත තොරතුරු ගෙනයන මාධ්‍යවේදියා ආරක්ෂා කරගත යුතු බවත් මූලික අවශ්‍යතා හෝ සපුරාගත හැකි ආකාරයේ වැටුපක් ඔවුන්ට දීමට පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

ජනමාධ්‍ය, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

සමාජයේ ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය විශාල මෙහෙවරක් කරනවා. සමාජයට තොරතුරු ගලා යෑම නතර වුවහොත් අන්ධකාරයක් බවට පත් වෙනවා. ඒ නිසා මාධ්‍යවේදීන් මුහුණදී සිටින ප්‍රශ්න දෙස මීට වඩා පුළුල් ලෙස බැලිය යුතුයි. මාධ්‍යවේදීන් වෙත සුබසාධන කටයුතු රැසක් ආරම්භ කළත් ඒවා නතර වී තිබෙනවා. සහන ණය ක්‍රමයක් යටතේ නිවාස, මෝටර් රථ ලබාදීම ආරම්භ කළා. ඒවා නතර වෙලා. උපකරණ මිල දී ගැනීමටත් සහන ණය ක්‍රම තිබුණා. ඒවා දැන් නැහැ. රක්ෂණ ක්‍රම නැතිව ගොස් තිබෙනවා.

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඉදිරිපත් කළ ලිපියක් තිබෙනවා. වැට් බද්ද පොත් මුද්‍රණයට ඇතුළත් කිරීමෙන් කුමන තරම් අශිෂ්ට යුගයක් ඇති වෙයිද? කියවීම, අධ්‍යයනය දිරිමත් කිරීමක් පවතින සමාජයක් අපට තිබෙනවා. සාර්ක් කලාපයේ කිසිදු රටක පොත් මුද්‍රණයේදී වැට් බද්දක් ගහන්නේ නැහැ. පාසල් දරුවන්ගේ අමතර කියවීම්, සාමාන්‍ය ජනතාවගේ කියවීම් මේ සියල්ල මෙමඟින් අඩාළ වෙනවා. පොත් ප්‍රකාශකයන් තමන්ගේ ආයතන පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙන්. සාමාන්‍යයෙන් පළමු මුද්‍රණයේ පොත් දහසක් අලෙවි කර ගන්නේත් අමාරුවෙන්. වැට් බද්ද ප්‍රකාශන සඳහා ඇතුළත් කරන යෝජනාව ඉවත් කරන ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. වැට් බද්ද නිදහස් ලේඛනය තමයි මීට පෙර තිබුණේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT