මන්ත්‍රී ගයන්ත කරුණාතිලක
ලෝකයේ දුෂ්කරම මාධ්‍යකරණයක යෙදෙන මාධ්‍යවේදීන් සිටින රටක් ලෙසත් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇතැයි සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රීඩම් හවුස් නිරීක්ෂණ සංවිධානය එම කාරණය පෙන්වා දී ඇතැයි ද කරුණාතිලක මහතා කීය.
මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලෝකයේ රටවල් 185ක් අතුරින් ශ්‍රී ලංකාව සිටින්නේ 135 වැනි ස්ථානයේ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේය.
තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක වන රටවල් අතර හොඳම පහ හය අතර තවමත් ශ්‍රේණිගත වී සිටින්නට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන නමුත් තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කරන්න විවිධ උප්පරවැට්ටි අටවන බව පෙනෙන්නට තිබෙන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
මම ජනමාධ්‍ය ඇමැතිවරයා වුණේ මේ රටේ අඳුරුම යුගයකදී. මාධ්‍යවේදීන්ට පහරදීම්, ඝාතනය කිරීම්, පැහැර ගැනීම් අතුරුදන් වීම්, ජීවිත තර්ජන නිසා ඇතැම් මාධ්‍යවේදීන් රට හැර යමින් තිබූ වකවානුවකයි මම ජනමාධ්‍ය ඇමැති බවට පත් වුණේ. එවැනි කළු පැල්ලමක් එල්ල වූ යුගයකයි මම ජනමාධ්‍ය ඇමැති වුණේ. ජනාධිපතිතුමා එදා අග්‍රාමාත්‍යවරයා හැටියට 2015 ආණ්ඩුව පිහිටු වූ පසු මට ජනමාධ්‍ය ඇමැතිකම භාර දුන්නා.
ඒ කාලේ දිනපතාම වාර්තා වුණේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහර දීම් පැහැර ගැනීම් කරපුවා. අතුරුදන් වෙච්ච, මාධ්‍ය ආයතන ගිනිබත් කරපුවා. සමහර මාධ්‍යවේදීන් ජීවිත තර්ජන නිසා ජීවිත බේරගන්න විදේශගත වූ ඒවා. එවැනි කළු පැල්ලමක් අපේ රටේ මාධ්‍ය නිදහසට එල්ල වෙද්දී මම ජනමාධ්‍ය ඇමැතිකම භාර ගත්තා.
මාධ්‍ය නිදහස ඇති කරන්න, ජනතාවට නිදහසේ අදහස් පවසන්න, තොරතුරු දැන ගන්න අපි ඒ අවකාශය හැදුවා. අන්තිමට මාධ්‍ය නිදහස දෝරේ ගැලුවා. කොටින්ම ජනාධිපති අගමැති ඇමැතිලා විවේචනය කරලා මාධ්‍යවේදීන් බය නැතුව නිදාගන පහුවදාට ආයෙ ලියන්න පටන් ගත්තා. රට හැරගිය අය ඇවිත් ආයෙත් පෑන හසුරුවන්න පටන් ගත්තා. රටක් සංවර්ධනය කරන්න නම් රට තුළ යහපාලනය ඇති කරන්න නම් ආණ්ඩුව කරන දේවලට මහජනතාව වග වෙන්න නම් ජනතාවට නිදහසේ තම අදහස් පළ කරන්න ජනමාධ්‍යවල තමන්ගේ වෘත්තීය කාර්යභාරය උපරිම කරගෙන යන්නට හොඳ වටපිටාවක් නිර්මාණය කළ යුතු බව
ආණ්ඩුවත් මමත් කල්පනා කළා. ඊට ගැළපෙන ප්‍රතිපත්ති නීති ආයතන අපි ගොඩනැඟුවා.