Home » ඝාතන වැලකට අරඇන්ද 2ක් ගිනි අවියක් හා කුඩු සමඟ දැලේ

ඝාතන වැලකට අරඇන්ද 2ක් ගිනි අවියක් හා කුඩු සමඟ දැලේ

by sachintha
December 11, 2023 1:00 am 0 comment

මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනකු තංගල්ල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී T 56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සමඟ උණ්ඩ 30ක් පිරවූ මැගසීනයක් සහ හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 910ක් සමඟින් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ මර්දන අංශය පවසයි. ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරු වන කුඩාවැල්ල මධ්‍යම නාකුළුගමුව ප්‍රදේශයේ 34 හැවිරිදි පුද්ගලයෙකු සහ එම සැකකරුට අනුබල දුන් බව කියන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු 24 හැවිරිදි පුද්ගලයෙකි.

වර්ෂ 2018 දී තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ධීවර වරායේ දී T 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් 05ක් ඝාතනයේ කිරීමේ සිද්ධියේ ඝාතනයට ලක්වූ තිදෙනෙකු උක්ත ප්‍රධාන සැකකරුගේ ඥාති සහෝදරයන් බව ද අනාවරණය වූ බව පොලිසිය පවසයි.

කලක සිට පැවති මත්ද්‍රව්‍ය ආරවුලක් නිසා එම වෙඩි තැබීම සිදුකර තිබුණු අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මදුෂ්ගේ මෙහෙයවීමෙන් එම ඝාතන සිදුකර තිබේ.

එමෙන්ම වර්ෂ 2021 දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටි කුඩාවැල්ල ප්‍රදේශයේ අසේල සම්පත් රත්නවීර යන තැනැත්තාවද වෙඩි තබා ඝාතනය කර තිබුණු අතර ඔහු ද මෙම ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සහෝදරයා බව පොලීසිය පවසයි. මෙම ඝාතනය සිදුකර ඇත්තේ ගණේමුල්ල සංජීව හා බත්තරමුල්ල මංජු යන අපරාධකරුවන්ගේ මෙහෙයවීමෙන් බවද පොලිසිය පවසයි.

මෙම සිදුවීම්වලට පළිගැනීමක් සඳහා ප්‍රධාන සැකකරු ගිනිඅවියක් ළඟ තබාගෙන සිට ඇති බව අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කරනු ලබන බව එම කොට්ඨාසයේ උසස් නිළධාරියෙක් පැවසීය.

මීගොඩ – බී. කේ. කත්‍රිආරච්චි බණ්ඩාරගම බිමල් ජයසිංහ හල්තොට විනීතා මානෙල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT