Home » කිරි බවුසරයට වතුර කලවම් කරලා

කිරි බවුසරයට වතුර කලවම් කරලා

by sachintha
December 11, 2023 1:00 am 0 comment

අත්අඩංගුවට පත් ප්‍රවාහනය කරමින් තිබූ කිරි බව්සරය මෙන්ම කිරි පිටත ගැනීම සඳහා රැගෙන විත් තිබූ කුඩා ලොරි රථය

ප්‍රවාහනය කරමින් තිබූ කිරි බව්සරයකින් කිරි ලීටර් සියයක් පමණ එළියට රැගෙන ඒ වෙනුවට වතුර කලවම් කිරීමේ ජාවාරමක නිරතව සිටි කිරි බව්සර් රියදුරකු සහ කිරි මිල දී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු පසුගියදා (09) සිට අද (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයම්පති රත්න දිවාකර නියෝග කළේය.

දඹුල්ල පොලිස් ස්ථානයේ සිට මීටර් අටසියක් පමණ දුරකින් පිහිටි මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ මධ්‍යම රාත්‍රියේ කිරි බව්සරයක ඇතුළත මුද්‍රා ඉවත් කොට කිරි එළියට ලබා ගෙන ඊට වතුර යොදමින් සිටින සිද්ධියක් පිළිබඳව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත පසුගියදා (09) අලුයම සිදු කළ වැටලීමක දී බව්සරයක් හා කුඩා ලොරි රථයක් සමඟ මෙම දෙන්නා අත්අඩංගුවට ගෙන තිබේ.

කැකිරාව ප්‍රදේශයේ සිට මීරිගම ප්‍රදේශය දක්වා පුද්ගලික කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක සිට මෙම කිරි බවසරය ශිත කළ කිරි ප්‍රවාහනය කරමින් සිට තිබේ. ගිරිබාව ප්‍රදේශයේ කුඩා ලොරි රථයකින් ප්ලාස්ටික් ජල ටැංකියකින් ජලය රැගෙන විත් ඉතා සූක්‍ෂම ලෙස බවුසරයේ ඇති කිරි ලීටර් සියයක් ලොරි රථයෙන් ගෙන කුඩා කෑන්වලට ඉවත් කොට ඊට වතුර යොදා ඇති අයුරු පොලිසිය අතටම අල්ලා ගැනීම විශේෂත්වයකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කිරි බව්සරයේ රියැදුරු වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. එච්. ජයන්ත සමන් ප්‍රේමචන්ද්‍ර නමැති අය සහ කුඩා ලොරි රථයකින් කිරි රැගෙන යෑම සඳහා පැමිණි බව කියන විජේසිංහ ආරච්චිලාගේ නන්දික සුරංග නමැති ගිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

අත්අඩංගුවට පත් ප්‍රවාහනය කරමින් තිබූ කිරි බව්සරය මෙන්ම කිරි පිටත ගැනීම සඳහා රැගෙන විත් තිබූ කුඩා ලොරි රථය, උපකරණයෙන් පිටතට ගත් කිරි තොගය, කලවම් කිරීම සඳහා රැගෙන විත් තිබූ ජලය පිරවූ ටැංකිය දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් ‍ ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ කාලයක් තිස්සේ කිරි ප්‍රවාහනය කරමින් සිටිය දී මෙම ක්‍රියාවලිය සිදු කර ගෙන යන බවයි. ස්ථාන මාරු කරමින් මෙම ක්‍රියාවලිය සිදු කරන බව විවිධ අවස්ථාවන්හි දී ම පොලිසියට දැනුවත් කොට තිබුණ ද සිදුවන ස්ථානය පිළිබඳව නිසි ලෙස අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබිණ.

මෙම කිරි ජාවාරම පිළිබඳව පෞද්ගලික කිරි එකතු කිරීමේ සමාගම දැනුවත් කළ බවත් ඉදිරියේ දී තවදුරටත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බව දඹුල්ල පොලිසිය පවසයි. සැකකරුවන් දඹුල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ දඹුල්ල පොලිසියේ පොලිස් සැරයන් 23287 විජේරත්න මහතා විසිනි.

 

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT