Sunday, May 11, 2025
Home » ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගත් ‘ලෙජන්ඩ්ස්ලා 2ක්’ ඇතුළු 5කට ශ්‍රී ලංකා පිලේ දොර ඇරෙයි

ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගත් ‘ලෙජන්ඩ්ස්ලා 2ක්’ ඇතුළු 5කට ශ්‍රී ලංකා පිලේ දොර ඇරෙයි

by sachintha
December 11, 2023 1:01 am 0 comment

-සනත් දැන් පූර්ණ කාලීන උපදේශකයෙක්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරාට සහ ඉසුරු උදානට මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන් පස්දෙනා යළි විස්සයි20 සංචිතයට කැඳවීමට තීරණය කර ඇතැයි තේරීම් කමිටු ප්‍රකාශකයෙක් ‘දිනමිණ’ට පැවසීය. ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ ස්ථාන අහිමිවූ මේ ක්‍රීඩකයන් පස්දෙනාට අමතරව හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කෙරෙහි ද අවධානය යොමුවී ඇතැයි හෙතෙම පැවසීය. එහෙත් සීකුගේ ප්‍රසන්න විස්සයි20 සංචිතයට යළි සම්බන්ධ කර ගැනීම පිළිබඳ ස්ථීර තීරණයකට එළැඹ නැතැයි තොරතුරු අනාවරණය විය.

මේ අතර සහාය පුහුණුකරු, වේගපන්දු පුහුණුකරු, දඟ පන්දු පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු වෙනුවෙන් ඉදිරියේදී නව මුහුණුවලට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කරයි. සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන උපදේශකයකු ලෙස බඳවාගෙන ඇති අතර, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩක සංවර්ධනයේ විශේෂ වගකීම් ඔහුට පවරා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් හා අමෙරිකාවේදී ලබන වසරේ ජූනි මාසයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල වඩාත් ශක්තිමත් ස්ථාවරයකට පත් කර ගැනීමේ ඉලක්කය ඇතිව මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පස්දෙනා යළි ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවීමට තීරණය කර ඇත.

විවිධ හේතූන් මත පසුගිය කාලයේදී විස්සයි20 ක්‍රිකට් පිටියෙන් සමුගත් මේ ක්‍රීඩකයන් තවමත් විවිධ ආකෘතිවල ක්‍රීඩා කරමින් සිටින හෙයින් ශ්‍රී ලංකා පිලට එක්කර ගැනීමේ අවස්ථාව ඇති බව බහුතරයකගේ අදහස වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරා සහ ඉසුරු උදාන ඉතා ඉක්මණින් යළි ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන බවට ප්‍රකාශයක් කළ යුතු වන අතර, එවිට ලෙජන්ඩ්ස් ක්‍රීඩා පිටියෙන් ඈත් විය යුතු වේ.

තිසර පෙරේරා සහ ඉසුරු උදාන මේ වන විට ඉන්දීය ලෙජන්ඩ්ස් ක්‍රීඩා පිටියේ තරු බවට පත්ව සිටින අතර, ඔවුන් පෙරේදා නිමාවූ ඉන්දීය ලෙජන්ඩ්ස් ක්‍රීඩා පිටියේ දස්කම් අතරට පිවිසියහ. එම තරගාවලියේදී ඉසුරු උදාන තරග 6කදී කඩුලු 9ක් බිඳ හෙළා ඉම්රාන් ඛාන් (9) සමඟ වැඩිම කඩුලු ලාභීන්බවට වූ අතර, තරග 7කදී කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වූ තිසර පෙරේරා ලකුණු 108ක් ද රැස් කළේය.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ අවස්ථාවක් නොලැබුණද, දිනේෂ් චන්දිමාල් සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන් දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ නිමාවට පත් වූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කළ අතර, එහිදී ඔවුන් සුපුරුදු දක්ෂතා අතරට පිවිසියහ. එම තරගාවලියේදී බී – ලව් කැන්ඩි පිලට ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් විස්සයි20 තරග 10කදී ලකුණු 259ක් ලබාගත් අතර, එම කණ්ඩායමේ නුවන් ප්‍රදීප් තරග 7කදී කඩුලු 14ක් බිඳ හෙළා ගත්තේය.

මේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට පැමිණීමෙන් අත්දැකීම් බහුල කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබෙන බවත්, යොවුන් ක්‍රීඩකයන් පුහුණු කිරීමට කාලයක් නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ සාකච්ඡාවකදී කතාබහ වී තිබේ.

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු කාර්ය වී තිබෙන්නේ එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන සිම්බාබ්වේ ක්‍රිකට් පිල සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලි දෙක සඳහා කණ්ඩායම තෝරාදීමය. එම විස්සයි20 තරගාවලියේදී යළි කැඳවීම් ලබන ජ්‍යෙෂ්ඨයන්ට අවස්ථාව ලබාදී පළමු අත්හදා බැලීමේ සූදානමක් පවතී.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT