ආනන්ද ආදි ශිෂ්‍ය පිලේ නායක රවි පතිරවිතාන සහ මහින්ද ආදි ශිෂ්‍ය පිලේ නායක තරංග මහව ප්‍රධාන ආරාධිතයා වූ පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පතිනි මහේෂිකා රූපසිංහ මහත්මිය අතින් ශූරතාව ලබාගත් අයුරු.
ඡායාරූපය – මහනුවර ක්‍රීඩා විශේෂ
ධර්මරාජ විදුහල් ක්‍රිකට් පදනම විසින් සංවිධාන කළ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලියේ ආදි ශිෂ්‍යයන් අතර පැවති තරගයේ සම ශූරයන් බවට පත්වීමට කොළඹ ආනන්ද සහ ගාල්ල මහින්ද විදුහල් සමත් විය.
මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ ආදි ක්‍රීඩකයන් අතර අවසන් තරගයට වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් මෙලෙස සම ශූරතා පිරිනැමීමට කටයුතු කෙරිණි.
පළමු අවසන් පූර්ව තරගයේදී ධර්මපාල ආදි සිසුන් පරදවමින් මහින්ද පිල අවසන් තරගයට පිවිසි අතර, දෙවැනි අවසන් පූර්ව තරගයේදී පන්දුවට පහරදීමට අවස්ථාව හිමි වූයේ ධර්මපාල ආදි සිසුන්ට පමණි. අනතුරුව වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් එම තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සිදු කළ අතර, ඒ අනුව ආනන්ද පිල අවසන් තරග වරම් හිමි කර ගත්තේය.
මේ තරගාවලියට කර්නල් ඕල්කොට්තුමා විසින් පිහිටුවන ලද ප්‍රමුඛ පෙළේ පාසල් 8ක ක්‍රීඩකයෝ එක්ව සිටියහ.
මේ ප්‍රමුඛ පෙළේ පාසල් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ වත්මන් ක්‍රීඩකයන් අතර තරගාවලියක් හා ආදි ක්‍රීඩකයන් ඇතුළත් කණ්ඩායම් අතර තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ තරගාවලියේ වත්මන් ක්‍රීඩකයන් අතර පැවති තරගයේදී සත්කාරක ධර්මරාජය සහ ගාල්ල මහින්ද විදුහල සම ශූරයන් බවට පත් විය.
උපනන්ද ජයසුන්දර මහනුවර ක්‍රීඩා විශේෂ