Sunday, May 11, 2025
Home » ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රීඩිකා වෙන්දේසියේ කෝටිපතිනියෝ 5යි – චමරිට දොර වහලා

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රීඩිකා වෙන්දේසියේ කෝටිපතිනියෝ 5යි – චමරිට දොර වහලා

by sachintha
December 11, 2023 1:00 am 0 comment

ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් (WPL) තරගාවලියේ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1.8ක) මූලික වෙන්දේසි ලැයිස්තුවට ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු කිසිදු කණ්ඩායමක් මිල දී ගැනීමට ඉදිරිපත් වූයේ නැත. එමෙන්ම වෙන්දේසි ලැයිස්තුවේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2ක) ඉහළම මිලකට නියමවී සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා ඩෙන්ඩ්‍රා ඩොටින් ද මිල දී නොගත් ක්‍රීඩිකා ලැයිස්තුවේ සිටී.

චමරි අතපත්තු හා ඩෙන්ඩ්‍රා ඩොටින් මෙවර කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලි වෙන්දේසි ලැයිස්තුවේ ඉහළම මිලක් නියම වූ විදෙස් ක්‍රීඩිකාවන් දෙදෙනා වේ.

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණයේදී අතපත්තු නොදැවී ශතක දෙකක් රැස් කළාය. ඒ සමඟම නවසීලන්තයට එරෙහිව පැවති විස්සයි20 තරගයේදී ඇය පන්දු 47කදී නොදැවී ලකුණු 80ක් රැස්කරමින් තම කණ්ඩායමට පළමු ජයග්‍රහණය ලබා දුන්නාය. එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු විස්සයි20 තරගාවලිය ජයග්‍රහණය වෙනුවෙන් ද ඇය වැදගත් කාර්යභාරයක් ඉටු කළාය.

ඔස්ට්‍රේලියාවේ කාන්තා බිග් බෑෂ් තරගාවලියේදී සිඩ්නි තන්ඩර්ස් පිලට ක්‍රීඩා කළ චමරි මෙවර තරග වාරයේ තරග 15කදී ලකුණු 552ක් රැස්කළ හෙයින් මෙවර කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ දොරටු විවිර වනු ඇතැයි බොහෝ අනාවැකි පළ වුණි.

සියල්ලන් මවිතයට පත් කරමින් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගීවී නැති කෂ්වී ගෞතම් වෙන්දේසියේ මිල අධිකම ක්‍රීඩිකාව බවට පත් වෙමින් ගුජරාට් ජයන්ට්ස් පිල ඉන්දීය රුපියල් කෝටි 2කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 7.85කට) මිල දී ගත්තාය. එමෙන්ම තවමත් ඉන්දීය ජාත්‍යන්තර වරම් දිනා නැති වින්ද්‍රා දිනේෂ් රුපියල් කෝටි 1.30 අලෙවි විය.

මෙවර වෙන්දේසියේදී ක්‍රීඩිකාවන් 5කගේ මිල කෝටියකට වඩා වැඩිවූ අතර, ඔස්ට්‍රේලියාවේ ඇනබෙල් සදර්ලන්ඩ් දිල්ලි කැපිටල්ස් පිල වෙතින් රුපියල් කෝටි 2කට මිල දී ගත් අතර, දකුණු අප්‍රිකාවේ ෂබ්නිම් ඉස්මයිල් මුම්බායි ඉන්දියන්ස් පිල වෙතින් රුපියල් කෝටි 1.2කට හා ඔස්ට්‍රේලියාවේ පොහේබ් ලිච්ලේඩ් ගුජරාට් ටයිටන්ස් රුපියල් කෝටියකට මිල දී ගත්හ.

එළඹෙන ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් 2024 වාරය සඳහා වන වෙන්දේසිය පෙරේදා මුම්බායිහිදී පැවති අතර, ඒ සඳහා ක්‍රීඩිකාවන් 165ක් ලියාපදිංචි වී ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. වෙන්දේසි ලැයිස්තුවට ඉන්දීය ක්‍රීඩිකාවන් 104ක් සහ විදේශීය ක්‍රීඩිකාවන් 61ක් ඇතුළත්ව සිටියහ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT