Home » තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් එළියට පැමිණි සන්නිවේදන උපකරණ

තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් එළියට පැමිණි සන්නිවේදන උපකරණ

by yasara
December 13, 2023 9:31 am 0 comment

රුපියල් කෝටියක් වටිනා ලැප්ටොප් පරිගණක , ජංගම දුරකථන සහ  උපාංග ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ  තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් , ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින්  පිට කර ගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසිය මගින් ඊයේ  (12) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

මේ පිළිබඳ කොට්ඨාස බුද්ධි අංශය විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබූ අතර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ මග හැර මෙම භාණ්ඩ තොගය  ගුවන් තොටුපොළෙන්  පිටතට රැගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා  සිය ගමන් මලු තුළ මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සගවා නොගෙන , ගුවන් තොටුපොළ භාණ්ඩ ප්‍රවාහනය සදහා ඇති ” ට්‍රොලි ” කරත්ත තුළ අසුරා  ගෙන ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු 40 හැවිරිදි මාතර , හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අනෙක් ව්‍යාපාරිකයා 43 හැවිරිදි කොළඹ , දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඔවුන් දෙදෙනා විසින් මෙසේ නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ විද්‍යුත් සන්නිවේදන උපකරණ අතර ලැප්ටොප් පරිගණක 17 ක් , අයි වර්ගයේ ජංගම දුරකථන 47 ක් , ලීටර් 01 විස්කි බෝතල් 22 ක් , ජේ.බී.එල්.සංගීත විකාශන පද්ධති 03 ක් , අයි.වර්ගයේ ජංගම දුරකථන ආරෝපණ ( චාජර් ) 200 ක් , රැහැන් රහිත මයික්‍රොපෝන් 03 ක් , ආරක්ෂිත වර්ණ කැමරා පද්ධති 08 ක් , අයි වර්ගයේ ජංගම දුරකථන උපාංග 55 ක් සහ අයි.වර්ගයේ ජංගම දුරකථන බැටරි 39 ක් තිබූ බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක සහ මීගමුව 111 කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවරත්න , පොලිස් සැරයන්වරුන් වන 30220 පහත්කුඹුර , 72059 උපුල් , පොලිස් කොස්තාපල්වරුන් වන 86243 ලලිත් සහ 85188 දිලංක යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .

මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්  වෙත භාර දීමට නියමිතය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT