Tuesday, May 13, 2025
Home » කොරියාවට යවනවා කියා මුදල් වංචාවක ඔලිම්පික් ක්‍රීඩක රංග කුමාර විමලවංශට වසර 2ක බරපතළ සිරදඬුවම්

කොරියාවට යවනවා කියා මුදල් වංචාවක ඔලිම්පික් ක්‍රීඩක රංග කුමාර විමලවංශට වසර 2ක බරපතළ සිරදඬුවම්

by sachintha
December 14, 2023 12:58 am 0 comment

කොරියාවට යවන බව පවසා රුපියල් දසලක්ෂ හැට දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියට වරදකරු වූ ඔලිම්පික් ක්‍රීඩක වරුණ රංග කුමාර විමලවංශ යන අයට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් සිර දඬුවම් නියම කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් එක්දහස් පන්සීයක දඩ මුදලක් ද විත්තිකරුට නියම කළේය.

එම දඩ මුදල් නොගෙවන්නේ නම් සති දෙකක සිර දඬුවමක් නියම කළේය.

කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය මඟින් ගොනු කර තිබූ නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම නඩුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලේඛන ලබා දෙන ලෙස මෝසමක් ගොනු කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අදාළ කරුණු තහවුරු කිරීමට හෙට (15) නඩුව කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පයාගල උපත ලබා කළුතර සිරිකුරුස විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ රංග විමලසේන පසුකාලීනව බම්බලපිටිය සාන්ත පීතර විදුහලට ඇතුළත් වීමෙන් පසු මලල ක්‍රීඩාවට පිවිසි අතර, 1996දී ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියෙන් ජාත්‍යන්තර තරග බිමට එක් විය.

ඔහු 1998 වසරේ ජපානයේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 සහාය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලංකා පිලට එක්වූයේ පාසල් ක්‍රීඩකයකු ලෙසිනි.

2002 වසරේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වී මීටර් 400 තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ රංග විමලසේන 2006 වසරේ දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළේ මීටර 400 සහාය දිවීමේ තරගයෙන් රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු ද විය. ඔහු 2000 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ආසියාතික ක්‍රීඩා උලෙළේ මීටර් 400 සහාය දිවීමේ තරගයේ රන් පදක්කම්ලාභියකු වන අතර, එම වසරේදීම සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 400 සහාය දිවීමේ තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු විය.

2007 වසරේදී ක්‍රීඩාවෙන් ඉවත් වීමෙන් පසු ඔහු පුහුණුකරුවකු සහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT