Home » දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචා කළ තිදෙනාට දුන් මහාධිකරණ තීන්දුව ඇපිල් උසාවියෙන් අනුමතයි

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචා කළ තිදෙනාට දුන් මහාධිකරණ තීන්දුව ඇපිල් උසාවියෙන් අනුමතයි

by sachintha
December 14, 2023 12:59 am 0 comment

දකුණු ආසියාවේ විශාලතම “වැට් බදු” වංචාව වන රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් වංචා කිරීම කළ ව්‍යපාරිකයන් තිදෙනකුට බරපතළ වැඩ සහිත සිර දඬුවම් හා දඩ නියම කළ මහාධිකරණ තීන්දුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාව මත ඊයේ(13) දින තහවුරු කරන ලදී.

කොළඹ මහාධිකරණය විසින් 2014සැප්තැම්බර් මස 26 වැනිදා ප්‍රකාශ කළ එම තීන්දුවට එරෙහිව මොහොමඩ් සුබයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් යන විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් මේ බව ප්‍රකාශයට පත් කරන ලදී.

පෙත්සම් විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ ආර්. ගුරුසිංහ යන විනිසුරුවරු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුව අනුමත කරන බව සඳහන් කළේය.

එම නඩු තීන්දුවට මැදිහත්වීමට තරම් සාධාරණ කරුණු අනාවරණය වීමක් සිදු නොවන බැවින් විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරන බව එහි සඳහන් වේ.

එහෙත් විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුලේ සභාපති විනිසුරු හා අභියාචනාදධිකරණයේ සභාපති විණිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් පනවන ලද දඬුවම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර එකඟත්වය මත ස්ථිර කරන ලදී.

ඒ අනුව එම අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලදී.

2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබුණි.

එම බදු මුදල් සාපරාධී ලෙස වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් තුන් දෙනාට කොළඹ මහාධිකරණය විසින් 2014 වසරේ බරපතළ වැඩ සහිත වසර 20 බැගින් සිරදඬුවම් හා දඩ මුදල් ද නියම කර තිබුණි.

මහාධිකරණ නඩු විභාගය පැවැති අවස්ථාවේ දී විත්තිකරුවන් අධිකරණය මඟහැර පලා ගොස් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය පැවැත්වුණි.

ජනාධිපති නීතිඥවරුන් වන රියෙන්සි අර්සකුලරත්න, කපිල වෛද්‍යරත්න, එස්. සුහයිර් යන මහත්වරු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුනරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT