Home » ලැප්ටොප්-දුරකතන-කැමරා චාජර්-විස්කි ඇතුළු කෝටියක් වටිනා භාණ්ඩ ගුවන්තොටෙන් පන්නද්දී ව්‍යාපාරිකයන් දෙදෙනා මාට්ටු

ලැප්ටොප්-දුරකතන-කැමරා චාජර්-විස්කි ඇතුළු කෝටියක් වටිනා භාණ්ඩ ගුවන්තොටෙන් පන්නද්දී ව්‍යාපාරිකයන් දෙදෙනා මාට්ටු

by sachintha
December 14, 2023 12:01 am 0 comment

රුපියල් කෝටියක් වටිනා ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන සහ උපාංග ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් තීරුබදු නොගෙවා කටුනායක ගුවන්තොටුපොළෙන් පන්නා රැගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනකු ගුවන්තොටුපොළ පොලිසිය මඟින් පෙරේදා (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ගුවන්තොටුපොළේ ඇති සියලු පරීක්ෂණ ස්ථාන මඟ හැර නීති විරෝධී ලෙස භාණ්ඩ තොගයක් ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටින බවට කොට්ඨාස බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව ගුවන්තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ පොලිස් නිලධාරින් පිරිසක් විසින් කළ මෙහෙයුමකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඔවුන් දෙදෙනාගේ ගමන්මලුවල තිබී නීති විරෝධීව මෙරටට රැගෙන ආ ලැප්ටොප් පරිගණක 17ක්, නවීන තාක්ෂණික ජංගම දුරකතන 47ක්, ලීටර 01 ප්‍රමාණයේ විස්කි බෝතල් 22ක්, ජේ.බී.එල්. සංගීත විකාශන පද්ධති 03ක්, ජංගම දුරකතන ආරෝපණ (චාජර්) 200ක්, රැහැන් රහිත මයික්‍රෆෝන 03ක්, ආරක්ෂිත වර්ණ කැමරා පද්ධති 08ක්, ජංගම දුරකතන උපාංග 55ක් සහ ජංගම දුරකතන බැටරි 39ක් හමුවූ බව ගුවන්තොටුපොළ පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා සිය ගමන්මලු තුළ මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සඟවා නොගෙන, ගුවන්තොටුපොළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇති Òට්‍රොලිÓ කරත්ත තුළ අසුරාගෙන ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණි බවත් එහිදී ඔහුව කොටු කරගෙන පරීක්ෂා කළ බවත් ගුවන්තොටුපොළ පොලිසිය සඳහන් කළේය.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයකු 40 හැවිරිදි මාතර, හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් ව්‍යාපාරිකයා 43 හැවිරිදි කොළඹ, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔවුන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 1025 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක සහ සහකාර පොලිස් අධිකාරි ගාමිණි රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියල් ජීවරත්න, පොලිස් සැරයන්වරුන් වන (30220) පහත්කුඹුර, (72059) උපුල්, පොලිස් කොස්තාපල්වරුන් වන (86243) ලලිත් සහ (85188) දිලංක යන මහත්වරු වැටලීම සිදු කළහ.

මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සමඟ ව්‍යාපාරිකයන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපොළ රේගු නිලධාරින් වෙත භාර දීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT