Tuesday, May 13, 2025
Home » මීගමුව හමුවේ මුවර්ස් ලකුණු 62කට දැවී යයි රසූල් එස්එස්සී කඩුලු 6ක් දවා ගනී
අන්තර් සමාජ එක්දින ක්‍රිකට්

මීගමුව හමුවේ මුවර්ස් ලකුණු 62කට දැවී යයි රසූල් එස්එස්සී කඩුලු 6ක් දවා ගනී

by sachintha
December 14, 2023 12:05 am 0 comment

 

මීගමුව හමුවේ මුවර්ස් ලකුණු 62කට දැවී යයි

රසූල් එස්එස්සී කඩුලු 6ක් දවා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ මුවර්ස් පිටියේ පැවති ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී සත්කාරකයන් ලකුණු 62කට සීමා කිරීමට ඩිල්ෂාන් මුණවීර නායකත්වය දරන මීගමුව ක්‍රීඩා සමාජය සමත්වීම කැපී පෙනිණි. මේ තරගයෙන් මීගමුව කණ්ඩායමට කඩුලු 8ක ජයක් අත්විය.

තරගයේ දී සොහාන් ඩි ලිවේරා ලකුණු 12ක් රැස් කරමින් මුවර්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, මීගමුව පන්දු යවන්නන් හමුවේ ලකුණු 10 සීමාව පසු කළ හැකි වූයේ පිතිකරුවන් තිදෙනකුට පමණි. මුවර්ස් අවසන් කඩුලු 6 බිඳ වැටුණේ ලකුණු 7කදීය. පන්දු යැවීමේදී නිශාන් පීරිස් ලකුණු 5කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 8කට කඩලු 3ක් සහ ඩිල්ෂාන් මුණවීර කඩුලු 2ක් දවා ගත්හ. සෙසු තරගවලදී සීසීසී ක්‍රීඩා සමාජය ලකුණු 17කින් කුරුණෑගල යූත්, කෝල්ට්ස් පිල ලකුණු 4කින් ගාල්ල, හලාවත මේරියන්ස් ලකුණු 20කින් කැන්ඩි කස්ටම්ස් පරාජය කළ අතර, මේ තරග ත්‍රිත්වයේම ජයග්‍රහණ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තීරණය කෙරිණි.

සෙබස්තියනයිට්ස් කඩුලු 6කින් පොලිසිය, නුගේගොඩ ලකුණු 81කින් ඒස් කැපිටල්, එස්එස්සී ලකුණු 14කින් බදුරලිය, බ්ලූම්ෆීල්ඩ් කඩුලු 4කින් බීආර්සී පරාජය කිරීමට සමත් වූ අතර, රාගම – ගුවන් හමුදාව සහ පාණදුර – එන්සීසී ක්‍රීඩා සමාජ අතර ඊයේ තරග අත්හැර දැමිණි.

මෙවර තරගාවලියේ පළමු දිනයේ ශතකය වාර්තා කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජයේ රනේෂ් සිල්වා (113) සහ හලාවත ක්‍රීඩා සමාජයේ චමෝද් සඳරු (101) සමත් වූහ.

රනේෂ්ගේ ඉනිම පන්දු 128කදී හතරේ පහර 12කින් සහ හයේ පහරකින් වර්ණවත් වූ අතර, සඳරු පන්දු 109කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් එල්ල කර තිබිණි.

මේ තරගවලදී රවීන් යසස් (හලාවත), ඉමාල් ලියනගේ (කැන්ඩි), ගිහාන් කෝරළගේ (බදුරලිය), නුවනිඳු ප්‍රනාන්දු, ක්‍රිෂාන් සංජුල සහ අවිශ්ක ප්‍රනාන්දු (එස්එස්සී), ඉරෝෂ් සමරසූරිය සහ ඕෂද ප්‍රනාන්දු (ගාල්ල), සංගීත් කුරේ (කෝල්ට්ස්), රුමේෂ් බුද්ධික (නුගේගොඩ) සහ පුලින තරංග (හලාවත) ද අර්ධ ශතක වාර්තා කළහ.

බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩක පර්වේස් රසූල් දිනයේ හොඳම පන්දු යැවීම සටහන් කළේ එස්එස්සී පිලට එරෙහිව ලකුණු 45කට කඩුලු 6ක් බිඳ දමමිනි. ඒස් කැපිටල් කණ්ඩායමේ තනුක දාබරේ නුගේගොඩ කණ්ඩායමට එරෙහිව ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තේය.

ජෙෆ්රි වැන්ඩසේ (බ්ලූම්ෆීල්ඩ්) සහ කසුන් මදුශංක (කැන්ඩි) කඩුලු 4ක් බැගින් දවාගත් අතර, නවීන් ප්‍රනාන්දු (කුරුණෑගල), චතුරංග ද සිල්වා (සීසීසී), උදිත් මදුෂාන් (කෝල්ට්ස්), සහන් අදීෂ (ගාල්ල), තරිඳු රත්නායක සහ ප්‍රමෝද් මදුවන්ත (සෙබස්තියනයිට්ස්), සුවත් මෙන්ඩිස් (නුගේගොඩ), කසුන් රාජිත සහ කලණ පෙරේරා (එස්එස්සී), සහන් නානායක්කාර සහ අසිත වන්නිනායක (බ්ලූම්ෆීල්ඩ්) කඩුලු 3 බැගින් බිඳ දැමූහ.

කණ්ඩායම් 22ක් එක්ව සිටින මේ තරගාවලියේ මූලික වටයේ තරග ලබන මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර, 13 වැනිදා අවසන් පූර්ව තරගත් අවසන් මහ තරගය ජනවාරි 16 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT