Home » කියුබාවේ පොල් වගාවට ශ්‍රී ලංකාවෙන් සහයෝගය

කියුබාවේ පොල් වගාවට ශ්‍රී ලංකාවෙන් සහයෝගය

by chanaka
December 15, 2023 4:09 pm 0 comment

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කියුබානු තානාපති Andres Marshelo Gonzales Garrido (ඇන්ඩ්‍රස් මාර්ෂෙලෝ ගොන්ස්ල්ස් ගරිඩෝ)මහතා අතර හමුවක් ඊයේ (14) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සහ අනෙකුත් ජාත්‍යන්තර සංසදවලදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් කියුබානු තානාපති Andres Marshelo Gonzales Garrido (ඇන්ඩ්‍රස් මාර්ෂෙලෝ ගොන්ස්ල්ස් ගරිඩෝ) මහතාට එහිදී අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පුද කළේය.

ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට කියුබාව ලබා දී ඇති සහයෝගය පිළිබඳව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය ක්ෂේත්‍රයේදී දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ අවශ්‍යතාවය අවධාරණය කළේය. මදුරු මර්දන කටයුතු සම්බන්ධයෙන් කියුබානු විශේෂඥ දැනුම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සමඟ බෙදා ගැනීමට තානාපතිවරයා එකඟ විය.

දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද සාර්ථක අත්හදා බැලීම් පිළිබඳව සතුටට පත්වන බව පැවසූ කියුබානු තානාපතිවරයා කියුබාවේ සාර්ථකව පොල්වගාව සිදුකිරීමට ශ්‍රී ලංකාවෙන් පොල් පැළ බලාපොරොත්තු වන බව සඳහන් කළේය. නුදුරේදීම කියුබාවට පොල් බීජ 200ක් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍යවරයා තානාපතිවරයාට සහතික වූ අතර මෙරට පොල් පර්යේෂණ ආයතනයෙන් කියුබාවේ පොල් කර්මාන්තය දියුණු කිරීම සඳහා වූ විශේෂඥ දැනුම ද ලබා දීමට ද එකඟ විය.

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන, ගොවිතැන් සහ සත්ව පාලන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඉඩකඩ පවතින බව තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ කියුබානු තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් Maribel Duarte Gonzalez (මැරිබෙල් ඩුආර්ට් ගොන්සාල්ස්) මහතා ද සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT