Sunday, May 11, 2025
Home » IMF දෙවැනි වාරිකය ලැබීම ගැන ජුලී චන්ග් සතුට පළ කරයි

IMF දෙවැනි වාරිකය ලැබීම ගැන ජුලී චන්ග් සතුට පළ කරයි

by mahesh
December 15, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන දෙවැනි වාරිකය සඳහා අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනිය පෙන්වා දෙන්නේ මෙම පියවර ශ්‍රී ලංකාව සඳහා තීරණාත්මක පියවරක් බවත් එය රටේ ප්‍රගතිය සඳහා පමණක් නොව, තිරසර ප්‍රතිසංස්කරණ සහ වැඩිදියුණු කළ පාලනයේ අඛණ්ඩ වැදගත්කම අවධාරණය කරන්නක් බවත්ය. කෙසේ වුවද වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙන ජුලී චැන්ග් මහත්මිය ආර්ථික ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මඟට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය හිමිවන බවද කියා සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය පසුගිය 12 දින සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව දෙවැනි ණය වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් ශ්‍රී ලංකාවට මුදාහැරීමට එම අරමුදල තීරණය කර තිබේ.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සතුටුදායක මට්ටමක පැවතීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන බවද එක් කාර්ය සාධන නිර්ණායකයක් හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක පසුගිය ජුනි මාසයේ අවසානය වන විට සපුරා තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT