Sunday, May 11, 2025
Home » ලංකාවේ ප්‍රථම Sweet Coconut ගම්මානය ඇරඹෙයි

ලංකාවේ ප්‍රථම Sweet Coconut ගම්මානය ඇරඹෙයි

by chanaka
December 15, 2023 9:55 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රථම Sweet Coconut හෙවත් තැඹිලි අපනයන ගම්මානය මුරුතවෙල ඉහළ ගම්මානයේ දී ඇරඹේ.

ශ්‍රී ලංකාවටම ආවේණික ශාකයක් වන තැඹිලි ශාකය මේ වනවිට අප රටට ඩොලර් උපයා දෙන ප්‍රධාන ශාකයක් වෙමින් තිබේ.

මෙතෙක් මෙරට තැඹිලි සඳහා අප රටේ මෙන්ම ලෝකයේ ද එතරම් අවධානයක් යොමු වී නොතිබුනු නමුත් මේ වනවිට මෙරට තැඹිලි සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතාමත් ඉහළ ඉල්ලුමක් පවතී. මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් එරටට අපනයනය කෙරෙමින් පවතී.

එසේ වුවත් මෙතෙක් වැවිලි බෝගයක් වශයෙන් නොව ගෙවතු වගාවක් ලෙස සිදු කෙරෙන තැඹිලි වගාව පළමුවරට අපනයනය ඉළක්ක කර ගත් වගාවක් ලෙස වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පසුගියදා (14 ) පියවර ගත්තේය.

ඒ අනුව ලංකාවේ ප්‍රථම තැඹිලී වගා ආදර්හ ගම්මානය ලෙස මුරුතවෙල ඉහළ ප්‍රදේශය සංවර්ධනය කිරීමේ කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් තැඹිලි පැළ 1500ක් මෙම ප්‍රදේශයේ ගෙවතු ආශ්‍රිතව රෝපණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ තැඹිලි පැළ බෙදා දීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි. එක් ගෙවත්තකට තැඹිලී පැළ 10ක් බැගින් ලබා දීමට සැලසුම් කර තිබේ.

මෙරටින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කරන තැඹිලි ගෙඩියක් එරට වෙරළ කලාපයේ රුපියල් 2500 ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරෙති. මේ වනවිට එරට තැඹිලි සඳහා ඇති ඉල්ලුම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

පොල් සංවර්ධන අධිකාරිය මැදිහත්වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සැකසීම නිසා මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තැඹිලි ගෙඩියක් සඳහා එරට වරායේදී ඩොලර් 0.8 (දළ වශයෙන් රුපියල් 296) ක මුදලක් ලැබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කෙරේ.තැඹිලි අපනයනය කිරීමෙන් ඉකුත් වසරේදී (2022) රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.

මේ අතර තැඹිලි වගාව වැවිලි භෝගයක් වශයෙන් වගා කිරීම සඳහා සියලු පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහ සියල්ල අසාර්ථක වී ඇත. ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වේ. එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ සකසන ලෙස පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT