අතීතයේ මව් බිමේ සුරක්ෂිතතාව වෙනුවෙන් පෙනී සිටි තම දේශපාලන ව්‍යාපාරය, අනාගතයේ දීත් රටේ ඉදිරි ගමන වෙනුවෙන් කැප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
කුමන බාධක පැමිණිය ද මව්බිම වෙනුවෙන් පැවැති අභිලාෂයන් අත්නොහරින බව රාජපක්ෂ මහතා සදහන් කළේය.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද(15) පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලන අමතමින් ඔහු මේ බව කියාසිටියේය.
අරගල සමයේ තම පාක්ෂිකයන්ට සිදුවූ හානි පිළිබඳව විශේෂ කොමිෂන් සභාවක් පත්කර විමර්ශනයක් සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,
“ඔබ සියලුදෙනා තමා අපේ පක්ෂයේ ශක්තිය. ශක්තිය ඔබයි. දැන් බලන්න අපේ සම්මේලනය තියෙනවා කිව්වහම සමාජ මාධ්‍ය යොදාගෙන ඇති තරම් මඩ ගැහුවා. ඒ ගහපු මඩවලට ඔබ තමුන්නාන්සේලා හොඳ පණිවුඩයක් මුළු රටටම දීලා තියෙනවා. හොඳට මතක තියා ගන්න. අපි 2005 දී මේ රට භාරගන්න කොටත් අපිට මඩගැහුවා. ඔබ දන්නවා 30 අවුරුදු යුද්ධයේ දී මේ රටේ කිසිම නායකයෙක්ට ප්රභාකරන් එක්ක මුහුණට මුහුණ යුද්ධ කරන්න බැරි වුණා. සමහර නායකයෝ යුද්ධය නවත්වන්න ප්රභාකරන්ට ආයුධ පවා දුන්නා. මතකද ? මම අහන්නේ නෑ කවුද කියලා. යුද්ධයක් ගැන මතකයක් නැති දරුවන් අද සමාජගත වෙමින් ඉන්නවා. හැබැයි මේ දරුවෝ රවට්ටගෙන තමන්ගේ දේශපාලන අවශ්‍යතා සපුරාගන්න උත්සාහ කරන පිරිසකුත් දැන් ඉන්නවා. මේ තොරතුරු දන්නේ නැති පිරිසක් තමයි කයිය නායකලා මඟ යමින් ඒ කණ්ඩායමට අහුවෙලා බොරු ප්‍රචාර කරනවා. එයාලා හැමදාම කළේ විවේචන විතරයි. වැඩක් නෑ. වැඩක් නෑ නෙමෙයි වැඩ බෑ. එක දෙයක් එයාලට හොඳට පුළුවන්. එයාලට හොඳට ගිනි තියන්න පුළුවන්. ගිනි තියන්න පුළුවන් වුණාට ගිනි නිවන්න බෑ. ගස් නගින පූස් පැටව් වගේ. ගහට නගිනවා. ගහෙන් බහින්න බෑ. 2015 දී රටේ ඇතැම් පිරිසකට වෙනසක් ඕන වුණා. ඒ වෙනස කරපු දේ තමයි ආර්ථික වේගය ඍණ 0.2 වෙනකල්ම පල්ලම් බැස්සුවා. අපි කවුරුත් නොසිතූ ලෙස කොවිඩ් ආවේ එලෙස බිඳ වැටුණු ආර්ථික පසුබිමක් තිබුණු රටකට. යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක නවත්තපු අපි කොවිඩ්වලින් මිනිස්සු මැරෙන එක නවත්වන්න වැඩකරා කියන එක ඔබට මතක ඇති. ඒ අභියෝගය අත්නොහැර හිටපු වෙලාවක තමා අර ජනතාව කුපිත කරපු ව්‍යාපාර ආරම්භ වුණේ. එතැන් පටන් සිද්ධ වුණ දේවල් ඔබ තමුන්නාන්සේලා දන්නවා. ඒ නිසා බොරුව ජනගත කරන්න උත්සාහ කරන කණ්ඩායම හමුවේ අපි තවත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නෑ. මොන බලවේග ආවත් හෙට දවසෙත් රටේ ප්‍රබලම බලවේගය අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා විශ්වාසයෙන් කියනවා. එදා අරගලයට මුවා වෙලා අපේ පාක්ෂිකයන්ට ඇතැමෙක් හිරිහැර කළා. අපේ මන්ත්‍රීවරයෙක් මහ මඟ මරා දැම්මා. හරි නම් මේවට කොමිසමක් පත් කරලා විමර්ශන කරන්න ඕනේ. මේ ප්‍රශ්න අපි අනාගතේ දවසක සාධාරණව විසඳාගන්නවා.”