Sunday, May 11, 2025
Home » යූනියන් ඇෂුවරන්ස් 2023 තුන් වන කාර්තුවේ විශිෂ්ට ප්‍රගතියක් වාර්තා කරයි

යූනියන් ඇෂුවරන්ස් 2023 තුන් වන කාර්තුවේ විශිෂ්ට ප්‍රගතියක් වාර්තා කරයි

by mahesh
December 15, 2023 1:00 am 0 comment

ප්‍රධාන පරිපාලන නිලධාරී ජූඩ් ගෝමස් සහ නියෝජ්‍ය ප්‍රධාන පරිපාලන නිලධාරී සනත් ජයතිලක

ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, 2023 වසරේ තුන් වන කාර්තුවේදී ප්‍රධාන මූල්‍ය මිනුම් දඬු අනුව ක්‍ෂේත්‍රය තුළ ප්‍රමුඛතමයෙකු බව සනිටුහන් කරමින් අත් කර ගත් සුවිශේෂී කාර්ය සාධනය නිවේදනය කරන්නේ ඉමහත් සතුටිනි.

ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින්, යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව දළ ලිඛිත වාරිකයේ 14%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධන අනුපාතය වන 11% ඉක්මවා යාමකි. 2023 තුන් වන කාර්තුව වන විට 12%ක සමස්ත වෙළෙඳපොළ දායකත්වය සුරක්ෂිත කර ගනිමින්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 4 වන විශාලතම රක්ෂණ සමාගම බවට පත්වීමෙන් යූනියන් ඇෂුවරන්ස් සමාගම වැදගත් සන්ධිස්ථානයකට ළඟා විය.

2022 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව, 2023 ගෙවී ගිය මාස නවය තුළ ජනනය කරන ලද ඉහළ ආයෝජන ආදායම හේතුවෙන්, අතිරික්ත ගෙවීම් හැර, බදු ගෙවීමෙන් පසු ලාභය 74%ක් දක්වා ඉහළ ගියේය. යූනියන් ඇෂුවරන්ස්හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය 46%ක ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගනිමින් 2023 තුන් වන කාර්තුව වන විට බිලියන 23.9ක ප්‍රාග්ධනයක් වාර්තා කර තිබිණි..

උපාය මාර්ගික වත්කම් වෙන්කිරීම් සහ ඉහළ පොලී අනුපාත උපයෝගී කර ගනිමින්, 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ආයෝජන ආදායමේ 54%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමාගමට හැකි විය. යූනියන් ඇෂුවරන්ස්හි ආයෝජන එකතුව 2023 සැප්තැම්බර් අවසානය වන විට රුපියල් බිලියන 80ක් වූ අතර, එය 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 24%ක සැලකිය යුතු වර්ධනයක් පිළිබිඹු කරයි.

2023 වසරේ තුන් වන කාර්තුව වන විට සමාගමේ සමස්ත වත්කම් සහ ජීවිත අරමුදල් වටිනාකම පිළිවෙළින් රු. බිලියන 91.3ක සහ රු. බිලියන 63.9ක රැඳී තිබිණි. කාර්යක්ෂම වත්කම් වගකීම් කළමනාකරණය සහ පහළ යන පොලී අනුපාත යන සාධක මත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයෙහි කැපී පෙනෙන වර්ධනයකට තුඩු දුන් අතර, 2022 වසර අවසාන ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය වූ 194%ට සාපේක්ෂව 2023 සැප්තැම්බර් අවසානයේ එම අගය 395% දක්වා ඉහළ ගොස් තිබේ.මෙම සුවිශේෂී සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් සඳහන් කළේ, “අපේ සුවිශේෂී සාර්ථකත්වය නිවේදනය කිරීමට ලැබීම විශාල සතුටක්. අභියෝගාත්මක ආර්ථික පසුබිමක, 2023 තුන් වන කාර්තුවේදී ඉලක්කම් දෙකක වර්ධනයක් වාර්තා කරමින් අපගේ දක්ෂතාව අඛණ්ඩව ඔප්පු කර තිබෙනවා. මෙම ජයග්‍රහණය අපගේ කණ්ඩායමේ කැපවීම සහ වෙහෙසී වැඩ කිරීම පිළිබඳ සාක්ෂියක් වන අතර, රක්ෂණ ක්ෂේත්‍රයේ අඛණ්ඩ සාර්ථකත්වය සහ නවෝත්පාදන සඳහා අපි හොඳින් සූදානම්ව සිටිනවා,” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT