Sunday, May 11, 2025
Home » ලුවී වැන්ඩස්ට්‍රාටන් යළි උපන්නා වැනි

ලුවී වැන්ඩස්ට්‍රාටන් යළි උපන්නා වැනි

by mahesh
December 15, 2023 1:00 am 0 comment

හැමෝම සල්ලි හම්බු කිරීම සඳහා යූ ටියුබ් නාළිකා පවත්වාගෙන යන කල්හි සල්ලි බෙදීම සඳහා එක් අයෙක් යූ ටියුබ් නාළිකාවක් ආරම්භ කළේය. හිතන හැටි වෙනස් කරන්න කියා, කිවුවත් අපි හැමෝම තාම දුවන්නේ එක පීල්ලේය. ඉඳලා හිටලා එකෙක් පිට පැනලා හිතන්නේය. ‘පිට පැනලා හිතන්න’ කියපු ගමන්, අපේ එවුන් හිතන්නේ ‘පිට පොට පැනලාය’. කොයි තරමට මේ ආකාරයට අපේ ඈයෝ ‘පිට පොට පැනලා’ හිතනවාද කිවුවොත් ඒ ගැන පත්තරේ පළ වන ප්‍රවෘත්ති කියවා, අපේ බෙල්ලේ ‘පොට යන්නේය’.

මිනිසෙක් හමු වී මොකක් හෝ සෙල්ලමක් දමා, අතට සල්ලි මල්ලක් දෙන බුවෙක් සිටින්නේය. ඒ කොළ අට්ටිය කියන්නේ මිනිහෙක් ජීවිතේ දැක්ක ලොකුම සල්ලි කන්දය. බැංකුවක සේවයේ නියුතු අයෙක් හැරුණු කල, එහෙම සල්ලි බණ්ඩල් අප දකින්නේ චිත්‍රපටවලය. ඒ දර්ශනවල, එකෙක් පැමිණ සූට්කේස් එකක් විවෘත කරන්නේය. එහි සල්ලි පුරවා ඇත්තේය. එයින් බණ්ඩලයක් දෙකක් ඇද, තව එකෙක්, දබරැඟිල්ලත්, මැදැඟිල්ලත් එකතු කර, එක් පැත්තකට සහ මාපටැඟිල්ල පහළින් තබා, සයිඩ් එකෙන් රූස් ගා, නෝට්ටු ටික එහෙට මෙහෙට කරන්නේය.

සිනමා දර්ශනයක සේ, සල්ලි පොදි රැගෙන ඇවිත්, වටේ සිටින අයට බෙදා දී, ඒවා යූ ටියුබ් වීඩියෝ ලෙස අප්ලෝඩ් කරන අයෙක් සිටියි. හේ වනාහි අද යූ ටියුබ් ලෝකයේ අංක එකය.

MrBeast කියන්නේ ජේම්ස් ස්ටීවන් ඩොනල්ඩ්සන්ගේ, යූ ටියුබ් චැනලයේ නමය. වයස 25ක් වෙන මේ කොල්ලා ‘පිට පැන ‘ හිතුවේය. තමන්ට වයස අවුරුදු 13 දී, ඒ කියන්නේ 2012 මුල් භාගයේදී, මේ ගැටයා, යූ ටියුබ් එකට වීඩියෝ දමන්නට පටන් ගත්තේය. සල්ලි බෙදෙන වැඩේ වීඩියෝවලට ගෙන ආ ඔහු, දැන් යූ ටියුබ්

ලෝකයේ කිංග්ය. ඔහුගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ්ස්ලා මිලියන 351ක් සිටිති. ආයෙත් ගණන් ගැන, සිත සිතා සිටිය යුතු නැත. පෝලන්තය, යුක්රේනය, රුමේනියාව සහ උතුරු මැසිඩෝනියාව යන හතරේම ජනගහනය, එයට සමානය.

ඔහොම හිට් එකක් ගසාගෙන ‘නම්බර් වන් වී’ සිටින MrBeastගේ දවසක යූ ටියුබ් ආදායම, ඩොලර් ලක්ෂය පනින්නේය. මේ රටේ ද ආදායම් හොයන යූ ටියුබ් චැනල් තිබේ. ඒවා වින්දනය සඳහා බර නාළිකාය. බොහෝ

ජනප්‍රිය නාළිකා හාස්‍ය මත පදනම්ව ඇත්තේය. පවුලේ කතා ද ඇත. පොලිටිකල් වැඩසටහන් ද අසන නරඹන බැවින් ඒවා ද ජනප්‍රියය. මේ ආකාරයෙන් අවුලක් නැතිව බොහෝ දෙනා වැඩේ කරගෙන යති. ඒ අතරේ අලුත්ම අවුලක් දැන් පත්තු වී තිබේ. ඊයේ දිනමිණ සිය මුල්

පිටුවෙන් වාර්තා කළ පරිදි වහගෙන කළ යුතු දේ, ලෝකයටම වීඩියෝ කර පෙන්වන කපල් එකක් පිළිමතලාවේදී හසු වී තිබේ.

ඩබලගේ වැඩේ වන්නේ, කොහේට හෝ ගොස් ‘හෙලුවෙන් වැනීමය’. පාසල් සිසුවියක් ලෙස සහ අහල පහල ගෙදරක අයියා කෙනෙක් යන චරිත සඳහා ගැළපෙන ආකාරයට අවශ්‍ය ඇඳුම් රැගෙන දෙන්නා කොහේ හෝ තානායම් පොළකට යන්නාහ. ව්‍යාජ රංගනයක යෙදෙමින් ‘කොටු – කොටු’ දර්ශන රඟපා, ඒවා අන්තර්ජාලයේ උඩුගත කරන්නාහ.

වයස අවුරුදු 28 සහ 29ක් වන දෙදෙනා අන්දකයිප්පු සයිස් එකට මොළේ අවුල් අය නොවන්නෝය. කසාදය ද රෙජිස්ටර් කර ඇති ලබන අවුරුද්දේ වෙඩින් එකද ගැනීමට සිටින යුවළකි. කොලුවා, පෞද්ගලික විශ්වවිද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෝහාරික වෛද්‍යවේදී උපාධි අපේක්ෂිකාවක් ලෙස ‘ඇය’ ද ඉගෙනුම ලබන්නීය. මේ දෙදෙනා එක්ව පටන්ගෙන ඇති ස්වයං රැකියාව පෙරේදා මාට්ටු වූයේ මුත් එහි ‘බඩු භාණ්ඩ’ තවම අන්තර්ජාලය පුරා ඇත්තේය.

ස්කූල් යුනිෆෝම් එක කියන්නේ රටම සලකන

ඇඳුමකි. ඒ ඇඳුමෙන් යන දරුවා ගැන අපේ යටි සිතේ පටන්ම කරුණාවක්, ආදරයක් තැන්පත්ව ඇත්තේය. මේ යුවළ ඒ ඇඳුම ඇඳගෙන අර ජාතියේ සෙල්ලම් දමා, සිංහල දෙබස් තෙපලන විට, ඕවා බලන හතේ අටේ ඉඳන් ඉහළ පන්තිවල පොඩි එවුන් හිතන්නේ වැඩේ ‘සිරා’ කියාය. පාසල නිමවා ගෙදරට විත්, මේ ජාතියේ වැඩක් ‘ගෙදර වැඩ’ ලෙස කරන්නට ඒ පොඩ්ඩන්ට, නිතර ඕවා දකින කල්හි සිත් පහළ විය හැක්කේය.

මේ ඩබලගේ අන්තර්ජාල ගිණුමේ පරිශීලකයින් 4,400ක් සිටිති. ඔවුනගේ වීඩියෝ නැරඹුම් වාර මිලියන 8.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔය අපේ ගොයියලා ‘හිට්’ කර ගන්නා ආකාරය රාමුවෙන් පිට පැන හිතන හැටිය. පිට පනින්න කිවුව ගමන් පිට පොට යවා ගත්; ඒ දෙදෙනා දැන් කූඩුවේය. මාසයකට රුපියල් ලක්ෂයක් පමණ සොයා ගැනීමේ පහසු මඟ බවට ඒ හිට් එක පත් කර ගත්තේ, තවත් ලක්ෂයකගේ පමණ ඔළු කුරුවල් කර හෙයින් මේ ඩබලට ලෙහෙසියෙන් ගැලවීමට ඉඩ නොදිය යුතුය.

පහන්තුඩාව ඇල්ලේ ඔය ජාතියේ වීඩියෝගත

කිරීමක් කළ යුවළක් කලකට පෙර හසුවිය. දැන් මේ ජාතියේ සෙල්ලම් වැඩිපුර සිදු වන බැවින්, ඔය ‘සිනමා නිෂ්පාදක – අධ්‍යක්ෂණ’ කණ්ඩායම් වහාම ඇතුළට දැමීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුය. වැඩේ තනිකරම පොලිසියට භාර දිය නොහේ. අන්තර්ජාලය සම්බන්ධයෙන් ඇති රාජ්‍ය අධිකාරින් සමඟ පොලිසිය ඒකාබද්ධ කර මේ සෙල්ලම් නතර කර ගත්තේ නැත්නම් ගෙදර සිටම සල්ලි අච්චු ගැසීමට අපේ පොඩි එවුන්ද පෙලඹෙනු ඇත.

MrBeast සල්ලි හම්බු කළේ වටේට සල්ලි බෙදාය. ඔහු එයින් ලැබෙන ආදායමෙන් ජලය නොමැතිව පීඩා විඳින, අප්‍රිකාවේ මිනිසුන් සඳහා නළ ලිං 100ක් ඉදි කළේය. මේ නිසා ලක්ෂ පනහක් පමණ, දැන් පිරිසිදු වතුරෙන් තිබහ සරි කර ගන්නාහ. සිල්ලරේට හිතන එකාට ඇත්තේ හිරේ යන ජාතියේ ‘රාමුවෙන් පිට පැනීම්’ වුවද හරියට හිතන එකා තමන් ද ගොඩ ගොස්, සමාජය ද ගොඩ දමන ආකාරය ‘දෙකේ දෙකේ පොල්ලක් ගෙන’ හොඳට තළා, අර යුවළ සහ ඒ ජාතියේ සියලු දෙනාට පෙන්වා දිය යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT