Saturday, May 3, 2025
Home » සුභාවිත ගුවන්විදුලියේ සුපැහැදිලි ගමන් මඟ

සුභාවිත ගුවන්විදුලියේ සුපැහැදිලි ගමන් මඟ

(අද දිනට යෙදෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි දිනය වෙනුවෙනි)

by mahesh
December 15, 2023 1:00 am 0 comment

– 1925 දෙසැම්බර් 16 යනු ගුවන්විදුලිය නවීකරණය වූ දිනයයි
– ආසියාවේ ප්‍රථම ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලියයි
– 1965දී නව ප්‍රතිසංස්කරණ කොමිසමක් පත් කළේය

ආසියාවේ ප්‍රථම සහ ලෝකයේ දෙවන ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලියයි. ගුවන්විදුලිය ආරම්භ කිරීම පිළිබඳව මතභේදයට තුඩුදුන් දින 02ක් පවතී. ඇතැම් දෙනා ප්‍රකාශ කරන්නේ ලංකා ගුවන්විදුලිය ආරම්භ කර ඇත්තේ 1925 දෙසැම්බර් 16 වෙනිදා බවයි. නමුත්, තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ එය ආරම්භව ඇත්තේ 1924 වසරේ ජුනි මස 27 වෙනිදා බවයි. ලංකා ගුවන්විදුලියේ ප්‍රථම නිවේදක ඩී.එම්. කොළඹගේ රචිත ගුවන්විදුලි වංශය කෘතියේ ඔහු සඳහන් කරන්නේ නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ප්‍රචාරක දිනය හැටියට සලකනු ලබන්නේ “1925 දෙසැම්බර් 16 වනදාය” යනුවෙනි. නමුත්, ගුවන්විදුලි වංශය කෘතියේ ඩී.එම්. කොළඹගේ මෙසේද සඳහන් කොට ඇත.

මෙරට ගුවන්විදුලි ප්‍රචාරය ආරම්භ වූයේ කවදාදැයි නිශ්චය වශයෙන්ම කියන්නට නුපුළුවන. වාර්තා වී ඇති අන්දමට එය ආරම්භ වූයේ 1924 ජුනි මාසයේය. 1924 ජුනි 27 වනදා සර් විලියම් හෙන්රි මැනින් ලංකා ඉංජිනේරු සංගමය වෙත පණිවිඩයක් නිකුත් කළේය. එය විසුරුවා හරින ලද්දේ මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ සවිකරන ලද ට්‍රාන්ස්මීටර් යන්ත්‍රයක් ඔස්සේය”.

කෙසේ වුවද, ආචාර්ය නන්දන කරුණානායක හැටහය වසරක ගුවන්විදුලිය නම් සිය කෘතියෙන් ප්‍රකාශ කරන්නේ ගුවන්විදුලි සේවය නිල වශයෙන්ම ඇරඹුණේ 1925 දෙසැම්බර් 16 වනදා යන්න සාවද්‍යය. නියත ලෙසින්ම ගුවන්විදුලි සේවය ඇරඹුණේ 1924 ජුනි 27 වනදායි” යනුවෙනි. ගුවන්විදුලිය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ අතර, 1924 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ තැපැල්පතිගේ පාලන වාර්තාව ගුවන්විදුලිය 1924 ජුනි 27 ඇරඹි බව තහවුරු කර තිබේ.

නව උපකරණ යොදා ඉදි කළ වැඩි බල සහිත සම්ප්‍රේෂණාගාරය ආධාරකොට වඩාත් දියුණු අදියරකට ගෙන ආ ගුවන්විදුලිය, 1925 දෙසැම්බර් 16 වැනිදා එවක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියුක්ලිෆර්ඩ් විසින් විවෘත කෙරිණි. නව උපකරණ යොදා වැඩිදියුණු කළ ගුවන්විදුලි සේවයෙන් වඩාත් හොඳ සේවාවක් සලසා ඇති බව හියුක්ලිෆර්ඩ් ආණ්ඩුකාරවරයා දැනුම් දී තිබේ. පසුගිය වර්ෂයේ හෙවත් 1924 සිදු වූ සුවිශේෂී සිද්ධිය කොළඹ මධ්‍යම විදුලි පණිවිඩ මධ්‍යස්ථානයෙන් ගුවන්විදුලි සේවය විවෘත කිරීම බව 1924 වර්ෂයේ තැපැල්පතිගේ පාලන වාර්තාව සහතික කරයි. ඒ බව 1925 ප්‍රකාශ කරන ලද එම වාර්තාවේ 05වන පිටුවේ සඳහන්ව ඇත. 1925 දෙසැම්බර් 16 වැනිදා සිදු වූයේ නව විකාශනාගාරය කලින් තිබූ කිලෝවොට් භාගයක විකාශනාගාරය වෙනුවට කිලෝවොට් 01ක නව විකාශනාගාරයක් දක්වා වැඩිදියුණු කිරීමයි. ඒ බව 1925 වර්ෂය සඳහා 1926 තැපැල්පතිවරයාගේ පාලන වාර්තාවේ අංක 7 පිටුවේ සඳහන් කර තිබේ.

1925 දෙසැම්බර් 16 යනු ගුවන්විදුලිය නවීකරණය වූ දිනය ලෙස සැලකීම වඩාත් නිවැරදිය. එය “ගුවන්විදුලි දිනය” ලෙස සැලකිය හැකි වුවත්, ලංකාවේ ගුවන්විදුලි විකාශනය ආරම්භ වූ දිනය ලෙස පිළිගත යුත්තේ 1924 ජුනි මස 27 වැනිදාය. ගුවන්විදුලිය සිය ජීවන ගමන් මඟේ සියවස අබිමුව සිටියි. ශ්‍රී ලාංකේය ශ්‍රාවක ප්‍රජාවගේ සන්නිවේදන අවශ්‍යතාව සපුරාලූ ප්‍රමුඛතම ආයතනය වනාහි ශ්‍රී ලංකා ගුවන්විදුලියයි. සියවස අබිමුව සිටින ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඉතිහාසයේ වැදගත් සංධිස්ථාන බොහොමයක් පසු කළ ආයතනයකි. එහි ප්‍රථම සිංහල නිවේදක ඩී.එම්. කොළඹගේ ලංකා ගුවන්විදුලියේ රාජකාරි සඳහා සම්බන්ධ වන්නේ 1938 ජනවාරි 01 වැනිදාය. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ආයතනයක් වූ ලංකා ගුවන්විදුලිය ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත්වීමට ඉවහල් වූ වැදගත් කොමිෂන් සභා වාර්තාවක් වන්නේ “කන්දයියා වෛද්‍යනාදන් කොමිෂන් සභාව”යි. 1941 ඔක්තෝබර් 28 වැනිදා එවක ප්‍රසිද්ධ වැඩ හා ගමනාගමන ඇමැතිවරයා කන්දයියා ගුවන්විදුලි කොමිසම පත් කළේය. වෛද්‍යනාදන් කොමිසම ගුවන්විදුලිය සම්බන්ධයෙන් වැදගත් යෝජනා 21 ඉදිරිපත් කරන ලදි.

ගුවන්විදුලියේ වැඩසටහන්හි ව්‍යුහාත්මක සහ අන්තර්ගතයන්හි වෙනස්කම් ඇති කිරීමට අදාළ යෝජනා මෙහි ඇතුළත් විය. ගුවන්විදුලියේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සොයාබැලීමට පත් කළ පළමු කොමිසම කන්දයියා වෛද්‍යනාදන් කොමිසමයි. 1949 ඔක්තෝබර් 01 වැනිදා නව ගුවන්විදුලි දෙපාර්තමේන්තුවක් යටතේ ලංකා ගුවන්විදුලි සේවය ප්‍රතිස්ථාපනය කරන ලදි. එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉංග්‍රීසි ජාතික “ජෝන් ලැම්ප්සන්” වේ. බී.බී.සී. ගුවන්විදුලි සේවාවේ වැඩසටහන්හි ගුණාත්මකභාවයට නොදෙවෙනි වැඩසටහන් ලංකා ගුවන්විදුලියේද ප්‍රචාරය කිරීම නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අරමුණක් වූයේය. ඒ සඳහා ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ සහාය ලබා ගැනීමට හෙතෙම උත්සාහ කළේය. 1952 අප්‍රේල් 01 වැනිදා ලංකා සිවිල් සේවයේ කීර්තිමත් නිලධාරියකු වූ එම්.ජේ. පෙරේරා ගුවන්විදුලි දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩ භාරගන්නා ලදි. ඔහු ලංකා ගුවන්විදුලියේ සිංහල සහ දෙමළ වැඩසටහන්හි තත්ත්වය වැඩිදියුණු කිරීමට වෙසෙසි උත්සාහයක් ගත්තේය.

එම්.ජේ. පෙරේරාගේ උනන්දුව මත භාත්ඛණ්ඩ සරසවියේ සංගීතය පිළිබඳ මහාචාර්ය රත්නජංකර්ගේ මෙහෙයවීමෙන් සිංහල සංගීත ශිල්පීන්ගේ වර්ගීකරණය ආරම්භ වූයේය. දෙමළ සංගීත ශිල්පීන් වර්ගීකරණය කිරීම මධුරාසියේ මහාචාර්ය සිරිනිවාසන්ගේ මෙහෙයවීමෙන් සිදු විය. ආනන්දයෙන් ප්‍රඥාවට ගුවන්විදුලි ශ්‍රාවක ප්‍රජාව මෙහෙයවීම අරමුණු කොට උසස් කලා සහ රසවින්දන වැඩසටහන් ලංකා ගුවන්විදුලියේ ආරම්භ විය. 1950 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මූලිකත්වයෙන් ඇරඹි යෞවන සමාජය මෙහිලා වැදගත් වූ වැඩසටහනකි. ශාස්ත්‍රීය සංග්‍රහය, ගුවන්විදුලි රඟ මඬල ආදී වූ උසස් රසවින්දනාත්මක වැඩසටහන් ලංකා ගුවන්විදුලියේ ආරම්භ වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මඟ පෙන්වීමෙනි.

සියවසක් අබිමුව සිටින ලංකා ගුවන්විදුලියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ තවත් වැදගත් කොමිසමක් වන්නේ “එන්.ඊ. වීරසූරිය කොමිසම”යි. 1953 වර්ෂයේදී මෙම කොමිසම පත්කරනු ලැබූ අතර, ගුවන්විදුලි දෙපාර්තමේන්තුව නව ව්‍යුහයක් යටතේ සංවිධාන වීමේ අවශ්‍යතාව එහිදී පෙන්වා දුන්නේය. 1953 පත් කෙරුණු වීරසූරිය කොමිසමේ නිර්දේශ පිළිබඳව රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුණු බව නිරීක්ෂණය වන අතර, එහි කිසිදු ප්‍රධාන නිර්දේශයක් ක්‍රියාවට නොනැඟුණු බවද සඳහන්ය. 1965 බලයට පත් රජය, ලංකා ගුවන්විදුලියේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නව කොමිසමක් පත් කළේය. ඒ, “හුළුගල්ල කොමිසම”යි. හුළුගල්ල කොමිසම පෙන්වා දෙන්නේ 1953 පත් කළ වීරසූරිය කොමිසමේ නිර්දේශ අවම වශයෙන් හෝ අඩක් හෝ ක්‍රියාවට නොනැගීම කනගාටුවට කරුණක් බවයි. ලංකා ගුවන්විදුලියේ සියවසකට ආසන්න ගමන් මාර්ගයේදී නිතර විමසන ලද පොදු ප්‍රශ්නය වී ඇත්තේ සජීවී මාධ්‍යයක් වන ගුවන්විදුලිය නිරන්තරයෙන්ම ශ්‍රාවක සමීප බව පිළිබඳව විමර්ශනය කළ යුතුය යනුවෙනි. එම විමර්ශනයෙන් බැහැරව ගුවන්විදුලියට කටයුතු කිරීමට හැකියාවක් නැත.

සියවසක් අබිමුව සිටින ශ්‍රී ලංකා ගුවන්විදුලිය ලාංකේය ශ්‍රාවක ප්‍රජාවට වඩාත් සමීප වීමට සහ ආකර්ෂණය සඳහා කළ යුත්තේ කුමක්ද යන ගැටලු‍වට අදත් මුහුණ දී සිටියි. 1966 පත්කරන ලද හුළුගල්ල කොමිසම දෙපාර්තමේන්තුවක්ව පැවති ගුවන්විදුලිය නවසීලන්ත ගුවන්විදුලි සංස්ථාවට සමානව ගුවන්විදුලි සංස්ථාවක් පිහිටුවීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ” (හුළුගල්ල කොමිසම, 1966, පි. 19, 20). හුළුගල්ල කොමිෂන් සභා වාර්තාවට එවකට පැවති රජයේ පූර්ණ අනුග්‍රහය ලැබී තිබේ. මෙම කොමිෂන් සභා වාර්තාව රජයට භාර දී ඉතා කෙටි කාලයක් ඇතුළත එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එවකට පැවති රජය කටයුතු කළේය. 1967 ජනවාරි 05 වැනිදා දෙපාර්තමේන්තුවක්ව පැවති ගුවන්විදුලිය රජයේ සංස්ථාවක් බවට පත් විය. එහි ප්‍රථම සභාපති/ අධ්‍යක්‍ෂ ජනරාල් කීර්තිමත් සිවිල් සේවකයකු වූ නෙවිල් ජයවීරයි. විවිධ සමාජ, සංස්කෘතික හා දේශපාලන හැලහැප්පිලි මතින් ගමන් කළ ශ්‍රී ලංකා ගුවන්විදුලිය තීරණාත්මක හැරවුමකට ප්‍රවිශ්ට වන්නේ 1994 දීය. ඒ, පුද්ගලික ගුවන්විදුලි නාළිකා ගුවන්විදුලි ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමෙන් අනතුරුව ඇතිවන තරගකාරිත්වය සමඟයි. ශ්‍රී ලාංකේය ගුවන්විදුලි ශ්‍රාවක ප්‍රජාවගේ දැනුම, රසවින්දනය උදෙසා සන්නිවේදන මෙහෙවරේ නිරත වූ ගුවන්විදුලිය තරගකාරි ගුවන්විදුලි නාළිකා අතර තවත් තරගකරුවෙකු බවට අද පත්ව තිබේ. ගුවන්විදුලි නාළිකා 50කට වැඩි ප්‍රමාණයක් සමඟ තරග කරන්නට ගුවන්විදුලියට සිදුව ඇත. සිය ශ්‍රාවක ප්‍රජාවගේ ආනන්දයත් ප්‍රඥාවත් වෙනුවෙන් සන්නිවේදන මෙහෙවර හසුරුවාලූ ගුවන්විදුලිය මහජන සේවා සන්නිවේදන ආයතනයක් ලෙසද කටයුතු කළේය.

නමුත්, අද ගුවන්විදුලියට ආනන්දයත් ප්‍රඥාවත්, මහජන සේවා සන්නිවේදනයත් යන අරමුණු වෙතට සමීප වීමට සිදුව ඇත්තේ වෙළෙඳ පොළ තරගකාරිත්වය සමඟ වීම කනගාටුවට කාරණයකි. ගුවන්විදුලි ශ්‍රේණිගත කිරීම්වලට යටත්ව සේවාදායකත්වය හඹායාම ගුවන්විදුලිය හමුවේ ඇති ප්‍රබල අභියෝගයකි. තරගකාරිත්වය, තාක්ෂණික වැඩිදියුණුව, අතිරික්ත සේවක සංඛ්‍යාව ආදී අභියෝගත් සමඟ රාජ්‍ය මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය සිය සන්නිවේදන මෙහෙවර ඉදිරියට මෙහෙයවන්නේ මහත් වූ අභියෝගයකට මුහුණ දෙමිනි. සියවසකට ආසන්න ගමන් මඟේදී ගුවන්විදුලිය ව්‍යුහාත්මක වෙනස්වීම්වලට මුහුණ දී තිබේ. එම වෙනස්වීම්වලට වර්තමානයේද අනුගතව තම සන්නිවේදන ගමන් මඟ සකස් කරගැනීම අද ශ්‍රී ලංකා ගුවන්විදුලිය හමුවේ ඇති ප්‍රබලතම අභියෝගයයි. වෙළෙඳපොළ සාධක පිළිබඳව නිවැරදිව අවබෝධ කර ගනිමින් ව්‍යුහමය ගැළපීම ගුවන්විදුලියට තත්කාලීන අවශ්‍යතාවක් වී තිබේ. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ආයතනයක් ලෙස ආරම්භ වී ස්වාධීන දෙපාර්තමේන්තුවක්ව ගමන් කොට සංස්ථාවක් බවට පත්වූ ගුවන්විදුලිය අද එහි මීළඟ ව්‍යුහමය වෙනස අබියස සිටින බවද අමතක කළ යුතු නැත.

කෙසේ වුවද, එළඹෙන 2024 වර්ෂයට ගුවන්විදුලිය ආරම්භ කොට වසර සියයකි. සියවසක් සපිරෙන ගුවන්විදුලිය යනු ජාතික උරුමයකි. එය අතීත ගුවන්විදුලි ශ්‍රාවකයාගේද, වර්තමාන ගුවන්විදුලි ශ්‍රාවකයාට පමණක් නොව අනාගත ගුවන්විදුලි ශ්‍රාවකයාටද උරුම ජාතික සම්පතක් බව අවබෝධ කරගත යුතුය. එළඹෙන වසරට සියවස සපුරන ශ්‍රී ලංකා ගුවන්විදුලිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කළ යුතුය. සංස්කෘතික ජාතියක් ගොඩනැඟීමට සියවසක් මුළුල්ලේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය පෙරගමන්කරුවාගේ භුමිකාව නියෝජනය කර ඇත. සංවර්ධන සන්නිවේදන සංකල්පය යථාර්ථයක් කරනු පිණිස ගුවන්විදුලිය ලබා දී ඇති දායකත්වය සුළුපටු නොවේ. එදා මෙදාතුර ලාංකේය ගුවන්විදුලි ශ්‍රාවකයාගේ නිල සන්නිවේදන භූමිකාව ඉටු කළ එකම ආයතනය ශ්‍රී ලංකා ගුවන්විදුලියයි. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව මහජන සේවා සන්නිවේදන ආයතනයක් ලෙස ජනතාවට වඩාත් සමීපවීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලියට නෛතික වපසරියක් සකස් කළ යුතු අතරම, සන්නිවේදන කථිකාව පුළුල් කරනු පිණිස මේ සඳහා විද්වත් සන්නිවේදන වෘත්තිකයන්ට ඇති අවස්ථාව නිර්මාණය කිරීමද නව ව්‍යුහමය ගැළපීමකදී සලකා බැලිය යුතු ප්‍රබල කාරණාය. ගුවන්විදුලිය අද (දෙසැම්බර් 16) සිය නවීකරණ දිනයේ 98 වෙනි සැතපුම් කණුව පසුකරයි. ගුවන්විදුලිය ආරම්භ කොට එළඹෙන 2024 වර්ෂයට සියවසකි. 2024 වර්ෂයට සියවස සපුරන නවීකරණය වු ගුවන්විදුලි සේවාවකට අවශ්‍ය ව්‍යුහමය ගැළපීම මෙරට සන්නිවේදන ගමන් මඟේ නව දිශානතියක් නිර්මාණය කිරීම පිළිබඳ අපේක්‍ෂාව දෙස උපේක්‍ෂාවෙන් බලා සිටිමු.

ඉන්දික ජයරත්න
අධ්‍යක්ෂ (සිංහල සේවා හා ප්‍රවෘත්ති අධීක්ෂණ)
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT