Home » දේශබන්ධු ඇතුළු 4කට ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන්න නියෝග
හිටපු සෙබළකුට පහර දී මූලික අයිතීන් කඩ කිරීම

දේශබන්ධු ඇතුළු 4කට ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන්න නියෝග

by mahesh
December 15, 2023 12:59 am 0 comment

නෙල්කා මැදගෙදර

හිටපු හමුදා සෙබළෙකු 2010 වසරේදී අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවාගෙන අමානුෂික වද හිංසාවලට ලක් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වන වන්දි සිය පෞද්ගලික මුදලින් එම පුද්ගලයා වෙත ගෙවන ලෙස එවක නුගේගොඩ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ සිවිල් පුද්ගලයකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නියම කළේය.

එම පුද්ගලයාට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස රජයට ද නියම කෙරිණි.

එම පහරදීමේ සිද්ධිය හේතුවෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරමින් මෙම නියෝගය කරන ලදි.

ඒ අනුව අදාළ වන්දි මුදල් ඊයේ දින සිට මාස හයක් තුළ ගෙවා අවසන් කරන ලෙස වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පොලිස් නිලධාරී බණ්ඩාර සහ සිවිල් පුද්ගලයකු වන අජිත් වනසුන්දර යන අයට නියම කෙරිණ.

එම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නියම කෙරිණ.

පොලිස් නිලධාරීන්ට ලැබී තිබෙන ÒතරුÓහුදු වගකීමේ සංකේත බව සිහි තබාගත යුතු වන අතර, ඒවා බලය පෙන්වන ආභරණ නොවන බව නඩු තීන්දුව මඟින් අවධාරණය කර ඇත.

මිල්ලව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබළෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර අවසානයේ එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගයන් කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

අජිත් වනසුන්දර නමැති සිවිල් පුද්ගලයා සමඟ පැමිණී මිරිහාන පොලිසියේ සේවය කළ බණ්ඩාර සහ භාතිය ජයසිංහ යන නිලධාරීන් දෙදෙනා 2010 වසරේ දෙසැම්බර් මස 18 වනදා ත්‍රිරෝද රථයකින් තමන්ව අත්අඩංගුවට ගෙන දඹර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකට රැගෙන ගිය බව පවසමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ සිදුවන මංකොල්ලකෑම් හා යුද හමුදාවේ සිටියදී භාවිත කළ ගිනි අවියක් පිළිබඳ ප්‍රශ්න කරමින් තමන්ට අමානුෂික ලෙස පහරදුන් බව ද මිරිස් කුඩු තැවරු ප්ලාස්ටික් මලු දෙකක් තමන්ගේ හිසට බහා හුස්ම ගන්නා ලෙසට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තමන්ට බල කළ බව ද පෙත්සම්කරු එමඟින් පැමිණිලි කර තිබුණි.

අනතුරුව තමාගේ කටින් ලේ ගැලීම නිසා බියට පත් තමන් වගඋත්තර කාර පොලිස් නිලධාරීන් එල්ල කළ චෝදනාවලට වරද පිළිගත් බව පෙත්සම්කරු සඳහන් කර තිබුණි. මෙකී පෙත්සම් පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ අධිකරණයට ඉදිරිපත් වූ සියලු කරුණු පිරික්සීමේදී වගඋත්තර කාර පොලිස් නිලධාරීන් ඉදිරිපත් කරන කරුණු එකිනෙකට පරස්පර බවය ඒ අනුව ඒවා ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.

මෙම සිද්ධියේදී නීතියේ ආධිපත්‍යය අවම මට්ටමින් හෝ පවත්වාගෙන යාමට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අසමත් වී ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෙයිරාජා මහතා සඳහන් කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ සහ පොලිස් නිලධාරී බණ්ඩාර යන නිලධාරීන් පෙත්සම්කරු වද හිංසනයට ලක් කර තිබෙන ආකාරය පෙත්සම් විභාගයේදී තහවුරු වන බව එම තීන්දුවෙහි සඳහන් වේ.

එසේම පෙත්සම්කරු සිටි ස්ථානයට එම අවස්ථාවේදී ප්‍රදේශය භාරව කටයුතු කළ එවකට පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා පැමිණ රබර් පටියකින් පෙත්සම්කරුට පහර දී ඇති අතර, පෙත්සම්කරු නිරුවත් කරන ලෙස අණ කර ඇති ආකාරය පෙත්සම් විභාගයේදී අනාවරණය වූ බව එහි සඳහන් වේ.

මෙම නඩුකරයට පාදක වන සිද්ධිය හු‍ෙදකලා සිද්ධියක් නොවන බව සඳහන් කළ විනිසුරුවරයා, දීර්ඝ කාලයක් පුරා සිදු වෙමින් පවතින ආයතනික ගරා වැටීමක දිගුවක් ලෙස මෙය හැඳින්විය හැකි බව ද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා වද හිංසා සිදු කිරීම්වලට එරෙහිව මීට පෙරද අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබුණ ද එය Òබිහිරි අලින්ට වීණා වාදනය කිරීමක් බවට පත්ව ඇති බවත් ඒවා පිළිබඳ තැකීමක් සිදු කරන ආකාරයක් පෙනී යන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය.

පොලිසියේ පහළ නිලධාරීන්ට ලැබී තිබෙන බලය අවභාවිත කිරීම වැළැක්වීමට ඉහළ නිලධාරීන් වග බලා ගත යුතු බව ද තමන් යටතේ සිටින නිලධාරීන්ගේ හැසිරීම සුපරීක්ෂණයට ලක් කිරීමේ වගකීම ඉහළ නිලධාරීන්ට තිබෙන බව ද මෙම තීන්දුව මඟින් පෙන්වා දී ඇත. මෙම සිද්ධියේදී ඔහුගේ ක්‍රියා කලාපය තුළින් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නඩු තීන්දුවෙහි දැක්වේ.

ඒ අනුව ඔහු ඇතුළු වගඋත්තරකරුවන් සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙවිය යුතු බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT