කොලොන්නාවේ උමගිලිය ක්‍රීඩා පිටිය අසල දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කර පසුව කුරුමානම වැරැදීමෙන් පසුව වෙඩික්කරු සහ සහායකයා තියුණු ආයුධ රැගෙන තවත් අපරාධයකට සැරසී යමින් සිටිය දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පෙරේදා (13) සමත් වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය පොලිස් වසමේ අංගොඩ හංදියේ සිට මුල්ලේරියාව දෙසට ඇති ෆිනෑන්ස් ආයතනයක් අසල දී වැටලීමක් සිදු කර ඇත.
කොලොන්නාව ප්‍රදේශයේ දි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට ගොස් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් එය ව්‍යර්ථව ගිය අතර එම වෙඩික්කරු සහ ඔහුට සහය වූ තවත් පුද්ගලයකු ඒ සඳහා පැමිණි යතුරුපැදියත් ව්‍යාජ පිස්තෝලයක් හා තියුණු ආයුධ රැගෙන තවත් අපරාධයකට සැරසී යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කොලොන්නාව හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයින් දෙදෙනකු වන අතර ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකතන 07ක් ද හෙරොයින් ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 500ක් ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණු දිශාව වෙත භාර දී ඇත.
මෙම වෙඩික්කරු සංවිධානාත්මක අපරාධ පාතාල ක්‍රියාකාරකම් සහ ඩුබායිහි සැඟවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි ධනුෂ්ක යන අයගේ ප්‍රධාන ගෝලයකු වන මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන චන්දන නමැත්තා විසින් මෙහෙයවන වෙඩික්කරුවකු ලෙස හඳුනා ගෙන ඇත.
පුද්ගලික ආරවුලක් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධව ඇති වූ ගැටලුවක් හේතුවෙන් පසුගිය 12 වැනිදා වෙඩික්කරුවන් යොදවා කොලොන්නාව උමගිලිය ක්‍රිඩා පිටිය අසලදී පාන් අනුර නමැත්තාගේ පුත්‍රයා හට වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා එම වෙඩි තැබීම ව්‍යර්ථ වී ඇති බවත්, පසුව වෙඩික්කරු සහ සහයකයා පලා ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු චන්දන නමැත්තාගේම නවාතැනක සැඟව සිටිය දී වෙඩි තැබීම සිදුකර පැය විසිහතරක් යෑමට පෙර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මැඬලීමට ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය -I හි පොලිස් පරීක්ෂක ඒ.ආර්.ජී.එච්.යූ. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.