2024 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.
එම මුදලින් රුපියල් මිලියන 1000ක් තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමේ වැඩ සටහන් සඳහා වෙන් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
විශේෂයෙන් තරුණයින් 1000ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියනය බැගින් ලබා දී අපනයනය ඉළක්ක කර ගත් වගාවන් සඳහා යොමු කිරීමට නියමිතය. විශේෂයෙන් ලබන වසරේ දී ප්‍රධාන බෝග හතරකට ප්‍රමුඛත්වය ලබා දී වගා කෙරෙන අතර ඊට වී, බඩඉරිඟු, මිරිස් සහ අර්තාපල් අයත් වේ.
මෙම තරුණ ප්‍රජාව මෙම බෝග වගා කිරීම සඳහා මෙන්ම දැනට අන්තර්ජාතිකව ඉල්ලුමක් ඇති බෝග වගාව සඳහා ඔවුන් උනන්දු කිරීමටත්, විශේෂයෙන් තරුණ ප්‍රජාවට කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහාත් මෙම පියවර ගත යුතුව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.