Sunday, May 11, 2025
Home » හදිසි උදම් රළකින් බලපිටිය වෙරළේ බෝට්ටු විනාශයි

හදිසි උදම් රළකින් බලපිටිය වෙරළේ බෝට්ටු විනාශයි

by mahesh
December 15, 2023 1:00 am 0 comment

කරන්දෙණිය සමූහ - අනුරාධ ප්‍රියදර්ශන සහ ධර්මදාස සිරිවර්ධන

ඊයේ අලුයම 01ට පමණ බලපිටිය හරස්පල මුහුදු තීරයේ ඇති වූ දැඩි මුහුදු රළ පහරක් නිසා එම වෙරළ තීරයේ නවතා තැබූ ධීවර යාත්‍රා රැසකට බලවත් හානි සිදු වී ඇත.

ගොඩබිමට ගැසූ දැඩි රළ පහර හේතුවෙන් වෙරළේ තිබූ එක් දින ධීවර යාත්‍රා 20ක් පමණ නැවත මුහුදට ගසාගෙනයාම නිසා සම්පූර්ණයෙන්ම හානියට පත් වී ඇති අතර මෙම යාත්‍රාවල තිබූ එන්ජින් ගැලවී මුහුදේ ගිලී ගොස් ඇත. මෙම ස්ථානයේ ධීවර යාත්‍රා දෙසීයක් පමණ නවතා තිබූ අතර, දැඩි රළ පහර නිසා එම යාත්‍රා එකිනෙක හැපීම නිසා යාත්‍රා රැසකට බරපතළ අලාභහානි සිදුවී ඇත.

තමන්ට නියමිත ආකාරයට වරායක් නොමැතිකම නිසා තම ධීවර යාත්‍රා අනාරක්ෂිතව මෙසේ වෙරළ තීරයේ නවතා තැබීමට සිදු වී ඇති බව ධීවර කාර්මිකයන් පවසයි. එම නිසා මෙසේ විටින් විට මෙවන් අනතුරුවලට මුහුණදීමට සිදුවන බව ධීවරයන් පවසති. මෙහිදී බෝට්ටු රැසක සවිකර තිබූ එන්ජින් රැසක් මුහුදේ ගිලී ගොස් තිබූ අතර, ගිලී ගිය එක් එන්ජිමක් ගොඩ ගන්නා ආකාරය දැක ගත හැකි විය. මෙම එන්ජිම සහිත බෝට්ටුවක් රුපියල් ලක්ෂ පහළොවක් පමණ වන බවත් මේ සිදුවීම නිසා තමන්ට ජීවිකාව කර ගැනීමට ඉතාම අසීරු තත්ත්වයකට පත්වී ඇති බව ධීවරයන් පවසති. පසුගිය මැතිවරණ කිහිපයකදීම බලපිටියට හරස්පල ධීවර වරායක් ඉදිකරන බවට පොරොන්දු දුන්නත් ඒ සඳහා කිසිම වැඩපිළිවෙළක් නොමැති බව ධීවර ජනතාව පවසයි. මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය වහාම යොමු විය යුතු බව ඔවුහු පවසති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT