මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වැලිමඩ හා හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක යාකරමින් උමා ඔයේ අතු ගංගාවක් වන රත්තකරව්ව මැදකඳුර ඔය මතින් දමා තිබුණ පාලම ඉකුත් 13 වැනිදා සවස කඩා වැටීමෙන් එම අවස්ථාවේ ඒ මතින් ඇවිද යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අඩි 15ක් පමණ ප්‍රපාතයකට ඇදවැටීමෙන් තුවාල ලබා ඇත. එක් කාන්තාවක් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් කාන්තාව ප්‍රතිකාර ලබා පිටවගොස් ඇතැයිද හපුතලේ පොලිසිය පවසයි.
පාලම මතින් ඇද වැටුණත් ගලා බසින සැඩ පහරට හසුනොවී බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනුයේ මැඳකඳුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 සහ 65 වියේ පසුවන කාන්තාවන්
දෙදෙනෙකි.
දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රත්කරව්ව මාලිගාතැන්න පදිංචි ඊ.ඇම්. අනුලාවති නමැති කාන්තාවයි. මෙම අනතුරින් සුළු තුවාල ලත් අනෙක් කාන්තාව දියතලාව රෝහලින් බාහිර ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි.
“මමයි තවත් ගැහැනු කෙනෙකුයි පෙරේදා (13) දින හවස තුනහමාරට පාලම උඩින් යනකොට එක පාරටම බෝම්බයක් ගැහුවා වගේ සද්දයක් එක්ක අපි හිටිය හරියෙන් පාලම කඩා ගෙන පහළට වැටුණා අපි දෙන්නා වැටුණාට පස්සේ අනිත් කෙනා කොහොම හරි මාවත් අරගෙන මඟක් එනකම් ආවා ඊට පස්සේ මොනවා වුණාද කියලා මම දන්නේ නැ“ යැයි ප්‍රථිකාර ලබා පිටව ගිය කාන්තාව පැවසීය.
දැනට වසර 50කට පමණ පෙරදි මැදකඳුර ඹය හරහා අඩි 40ක් පමණ දිග හා අඩි 04ක් පමණ පළලින් යුතු පාලම ඉදිකර ඇතැයිද මෙම පාලම භාවිතාකරමින් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රත්කරව්ව අවට මාලිගාතැන්න, කටුව හා නිධන්ගොඩ ඇතුළු කෘෂි ගම්මාන රාශියක් හා හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉදල්ගස්හින්න, බෝවින්න, කිතුල්ගහවක ඇතුළු කෘෂි ගම්මාන රාශියක පවුල් 400ට වඩා වැඩි පිරිසක් මෙන්ම පාසල් දරුවන් විශාල පිරිසක්ද මෙම පාලම හරහා ගමන් ගන්නා බවත් එනිසා මෙම කඩා වැටුණු පාලම කඩිනමින්ම නැවතත් ඉදිකර දෙන ලෙසට වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටින බව මාලිගාතැන්න කටුව පදිංචි වැලිමඩ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රි ආර්.බී. ජයතිලක මහතා පවසයි.