මොනරාගල සිට කොටියාගල දක්වා මගීන් ප්‍රවාහනය කරන පුද්ගලික බස්රථයකට ගොඩවූ මගියෙකු එදින සවස මළගෙදරකට කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා බස් රථය ලබාදෙන ලෙස ඉල්ලා පසුව බස් රථය කුලී ගමනට රැගෙනයමින් සිටියදී ඉකුත් 11 වැනිදා සවස තිදෙනාගෙන් දෙදෙනෙකු විසින් කොන්දොස්තරට හා රියැදුරුට පහරදී ගැටගසා තර්ජනයකර බස් රථය පැහැරගෙන ගොස් ඇත.
මොනරාගල සිට කොටියාගල දක්වා ධාවනය වූ බස් රථයට මොනරාගල නගරයෙන් ගොඩවූ අයෙකු දොඹගහවෙල දක්වා ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන යන අතරතුරදී එදින සවස 6.30ට හුලංදාව සිට මැදගම ප්‍රදේශය දක්වා මළගෙදරකට කුලී ගමනක් යාමට කතාකරගෙන තිබේ.
ඒ අනුව සවස 6.45ට කුලී ගමන සඳහා කතාකරගත් පුද්ගලයා හුලංදාව හංදියේදී බස් රථයට ගොඩවී ඇත.
ඉන් පසු බස් රථය බිබිළ මාර්ගයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පසුකර යන විට ඊට ගොඩවූ දෙදෙනෙකු රියැදුරුට සහ කොන්දොස්තරට පිහියක් පෙන්වා “දඟලන්න එපා. කෑගහන්න එපා. කෑගැහුවොත් මරනවා” කියමින් පහරදී කකුල් සහ අත් ලණුවකින් ගැටගසා සීට් එකක් මත ඔවුන් මුනින් අතට වැතිරීමට සලස්වා බස් රථය මරදන්කඩවල ප්‍රදේශයට රැගෙනගොස් ඇත.
UP- NA 3579 දරන මෙම බස් රථය ඇතිමලේපාර, කොඩයාන, දොඹගහවෙල පදිංචි තිස්තුන් හැවිරිදි අයෙකුට අයත් එකකි. එහි රියැදුරු ලෙස ඇතිමලේ ගැමුණුපුර පදිංචි අයෙකුත්, කොන්දොස්තර ලෙස ඇතිමලේ 05 කණුව පදිංචිකරුවෙකුත් කටයුතු කරයි.
ඔවුන්ගෙන් තොරතුරක් නොලැබීම නිසා බස් රථය නවතන ස්ථානයේ තාරක නමැත්තාගෙන් ඒ පිළිබඳව අයිතිකරු විමසා ඇත. උපයාගත් රුපියල් පන්දහසකුත් ටිකට් මැෂිමත් භාරදී ඔවුන් කුලීගමනක් යන බව පවසා පිටවගිය බව ඔහු අයිතිකරුට පවසා තිබේ. අනතුරුව අයිතිකරු විසින් ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ බස් රථය මරදන්කඩවල ප්‍රදේශයේ ඇති බවට පොලිසියට ඉකුත් 12 වැනිදා පැමිණිලි කිරීමෙන් පසුව මරදන්කඩවල පොලිසිය මඟින් බස් රථය සැකකරුවෙකු සමඟ අත්අඩගුවටගෙන ඇත. රියැදුරා වන 32 හැවිරිදි එම සැකකරු මරදන්කඩවල පොලිසිය මඟින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු 70 කණුව ආලිස්තාන තිරප්පනේ පදිංචිකරුවෙකි. අතරමඟදී රියැදුරු සහ කොන්දොස්තරවරයා මුදාහැර ඇති අතර කොන්දොස්තරවරයා විසින් සිද්ධිය පිළිබඳව පෙරේදා (13) පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇත.
මරදන්කඩවල සහ මොනරාගල පොලිස් ස්ථාන අනෙකුත් සැකකරුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වයි.