Sunday, May 11, 2025
Home » බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ලේකම්වරියගේ ස්ථාන මාරුවට නිහඬ විරෝධතාවක්

බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ලේකම්වරියගේ ස්ථාන මාරුවට නිහඬ විරෝධතාවක්

by mahesh
December 15, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ස්ථාන මාරුවට ලක් කිරීමට කටයුතු කිරීමට පිඹුරු පත් සැකසීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය, ප්‍රාදේශීය සභාවේ සේවක සේවිකාවන් සහ ප්‍රදේශවාසීන් මෙන්ම මහජන නියෝජිතයන් ඊයේ (14) බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නියැළුණහ.

ප්‍රාදේශීය සභාවේ පැවති දූෂණ, වංචා, අක්‍රමිකතා දුරුකරමින් ජනතා මුදල් ආරක්ෂා කර ඵලදායි සංවර්ධන වැඩ සඳහා යෙදවීම පමණක් කළ ලේකම්වරිය වන බී. ඒ. ඩී. ඒ. ගයන්ති මහත්මිය අසාධාරණ ලෙස ස්ථාන මාරු කිරීම දූෂණ වංචාවල යෙදෙන කීපදෙනකුගේ උවමනාවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයකු විසින් සිදු කරන අසාධාරණ ක්‍රියාවක් බව පවසමින් ඔවුන් සිය විරෝධය පළ කළහ.

මෙම නිහඬ විරෝධතාවයට පක්ෂ භේදයකින් තොරව මහජන නියෝජිතයින් සහභාගි වීම විශේෂත්වයකි. “දූෂණයට විරුද්ධ වුණාම ලේකම්ට මාරුවීමක්?”, “ලේකම්තුමියගේ අයුක්තිසහගත මාරු වීම වහා අවලංගු කරනු”, “බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අත නොතබනු”, “දූෂිත රෝහිතගේ කොමිස් කාක්කන්ගෙන් සභාවේ මුදල් බේරාගනිමු” ආදී වැකි සඳහන් පුවරු ඔසවා ගෙන පැයකට ආසන්න කාලයක් විරෝධයේ යෙදුණහ.

මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරී සංගමයේ ලේකම් රොටුඹ පේමරතන, ජාතික ජන බලවේගයේ හිටපු මන්ත්‍රී සමිත් ජයගේ, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රී රොෂාන් රාජිත, ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් රණසිංහ, ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දර්ශන පීරිස්, සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ප්‍රධාන සංවිධායක නයනක රන්වැල්ල මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT