Sunday, May 11, 2025
Home » හොරා පොලිස් අත්අඩංගුවට

හොරා පොලිස් අත්අඩංගුවට

by mahesh
December 15, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

කැස්බෑව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් පෙරේදා (14) රාත්‍රියේදී කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා මහමග ගමන් ගත් පුද්ගලයන් පරීක්ෂා කිරීමේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

එම සැකකරුවන් පැමිණ තිබූ යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ත්‍රිරෝද රථයකින් රාත්‍රී ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මඩපාත සර්වෝදය මාවතේ කෙළවරට වන්නට පිරිසක් රැඳී සිටින අයුරු දැක එම ස්ථානයට ත්‍රිරෝද රථයෙන් ළඟා වීමත් සමඟම එහි සිටි පුද්ගලයන් තිදෙනෙක් පලා යන්නට වූ බව පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පලායමින් සිටි පුද්ගලයන් තිදෙනා පසුපස හඹා ගොස් දෙදෙනෙක් ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

අනතුරුව ඔවුන් දෙදෙනාට අත්මාංචු දමා ඔවුන් සිටි තැනට රැගෙන ඒමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් අනාවරණය වී ඇත්තේ තමන් පෙදරේරු රැකියාවේ නිරත වන බවත් මදුරු කොයිල් මිලදී ගැනීම සඳහා වෙළඳ සැලට යමින් සිටියදී තිදෙනාගෙන් අයෙකු තමන් කැස්බෑව පොලිසියේ ඕ. අයි. සී. බවත් නවතින ලෙසත් පැවසූ බව යයි පොලිසිය කියයි.

එම විධානයට අනුව තමන් නැවතුණු බවත් ඕ.අයි.සී. යනුවෙන් හැඳින්වූ පුද්ගලයා අනෙක් පුද්ගලයා අමතා Òපී. සී. මේ දෙන්නගේ අයිඩෙන්ටිටි චෙක් කරනවාÓ යැයි පැවසූ පසු ඔහු තමන්ගෙන් හැඳුනුම්පත් ඉල්ලා සිටි බවත්ය.

තමන් වෙළඳ සැලට යන බැවින් හැඳුනුම්පත් ගෙනාවේ නැති බව පැවසීමෙන් අනතුරුව ඒ බව පී.සී. යනුවෙන් හැඳින්වූ පුද්ගලයා ඕ.අයි.සී. යනුවෙන් හැඳින්වූ පුද්ගලයාට පැවසීමෙන් අනතුරුවÓ සාජන් මේ දෙන්නව හොඳට චෙක් කරනවාÓ යයි ඕඅයිසී හඳුන්වා ගත් පුද්ගලයා පවසා ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කැස්බෑව පොලිසියේ ඕඅයිසී ලෙස රඟපෑ සැකකරු අරක්කැමියෙකු ලෙස සේවය කරන අයෙකු බවත් සැරයන් ලෙස හැඳින්වූ සැකකරු ත්‍රිරෝද රථ රියදුරකු බවත්, පී. සී. ලෙස හැඳින්වූ සැකකරු රැකියාවක් නොමැති අයෙකු බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරුවන් තිදෙනා ජබුරලිය සහ නිවුන්ගම පදිංචි වයස අවුරුදු 35 සහ 45 අතර පසුවන්නන්ය.

සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 53175 අල්විස්, පොලිස් කොස්තාපල්වරුන් වන 73309 පෝල්සන් හා 98994 මදුසංක මහත්වරු පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT