කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව පොලිස් වසමේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පෙරේදා 13 වැනිදා ලොරි රථයක් යතුරුපැදියක ගැටී එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කඩුගන්නාව පොලිසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල බදුනාගල මුදුන්එළියේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි. බරපතළ තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටින 39 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ කොළඹ සිට මහනුවර දෙසට යකඩ තොගයක් පටවාගෙන ලොරි රථයක් ගමන් කරමින් සිට ඇති බවත් කඩුගන්නාව පොලිස් වසමේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිත වී ඇති බවත් එම අවස්ථාවේ දී ඉදිරියෙන් ආ යතුරුපැදියක ලොරි රථය ගැටී යතුරුපැදියේ ගමන් කරමින් සිටි දෙදෙනා තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබුණි. තුවාලකරුවන් දෙදෙනා මහනුවර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී යතුරුපැදියේ පිටුපසින් ගමන් කරමින් සිටි 58 හැවිරිදි පුද්ගලයා මියගොස් සිටි බව පොලිසිය පැවසීය. පැදිකරු බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පැවසීය.
40 හැවිරිදි ලොරි රථයේ රියැදුරුවරයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු ඊයේ 14 වැනිදා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනතුර සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන කටයුතු සිදු කරති.