ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප පරිසර හිතකාමී ආයෝජන කලාප බවට පත් කිරීම වෙනුවෙන් චීන විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර, හරිත ආයෝජන කලාප ඇති කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමට පියවර ගෙන තිබේ.
කාබන් විමෝචනය අවම කරමින් පරිසර හිතකාමි හරිත ආයෝජන කලාප බවට ආයෝජන කලාප පත් කිරීමේ වැඩසටහන විශාල ප්‍රගතියක් අත් කරගෙන ඇති අතර ලබන වසර අවසානයට පෙර අපේක්ෂිත ආයෝජන කලාප තුන පරිසර ආරක්ෂණ හරිත ආයෝජන කලාප බවට තත්ත්ව සහතික ලබාගනු ඇතැයි චීන විද්‍යා ඇකඩමියේ මහාචාර්ය වෙයි යුඅනයොන්ග් මහතා පවසයි.
මේ දිනවල මෙරට අධ්‍යයන සංචාරයක නිරත චීන විද්‍යා ඇකඩමියේ නියෝජිත මහාචාර්ය වෙයි යුඅනයොන්ග් මහතා සහ මහාචාර්ය ලියු පිංගු මහත්මිය ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින අපනයන කලාපවල අපජල කළමනාකරණය හා පරිසර ආරක්ෂණ වැඩ පිළිබඳව අධ්‍යයනයක නිරත වන අතර, මෙම කණ්ඩායම කටුනායක, බියගම හා අනෙකුත් අපනයන කලාප වෙත ගොස් ක්ෂේත්‍ර අධ්‍යයනයක නිරත වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
කොළඹ, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා හමුවූ අවස්ථාවේ මහාචාර්යවරයා මේ බව පැවසීය. චීන විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර, හරිත ආයෝජන කලාප ඇති කිරීමට අවබෝධතා ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. ඒ තුළින් ඒකාබද්ධ පාරිසරික කාර්මික උද්‍යාන සංකල්පය මත තිරසර ක්‍රමෝපායන් භාවිතය සමඟ වනගහනය පාරිසරික හැඩතල ශක්තිමත් කරනවා පමණක් නොව ජාතික තිරසර අරමුණු ඉටුකර ගැනීම සඳහා වැඩි ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ.
ජල තත්ත්ව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ව්‍යවසායන්හි පානීය ජලයේ ගුණාත්මකභාවය සහ පිරිපහදු කළ ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා කැප වූ විශේෂිත පහසුකමක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපේක්ෂා කරයි. මහනුවර, කර්මාන්ත උද්‍යාන පරිශ්‍රයේ අංග සම්පූර්ණ ජල තත්ත්ව රසායනාගාරයක් පිහිටුවීම මෙයට ඇතුළත් වේ. මීට අමතරව මෙම වැඩසටහන තුළින් සෑම ආයෝජන කලාපයකම පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන අතර, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ද ලබා දෙයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ එම්. කේ. ඩී. ලෝරන්ස්, අධ්‍යක්ෂ අසංක වෙලගෙදර මහත්වරු ද සහභාගි වූහ.