Home » මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය හෙට සිට ජනතා අයිතියට

මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය හෙට සිට ජනතා අයිතියට

by yasara
December 18, 2023 11:47 am 0 comment

මරඳගහමුල සුළු සහ මධ්‍යම පරිමාණයේ සහල් ව්‍යාපාරයෙහි නිරත ව්‍යපාරිකයන් වෙනුවෙන් ඉදිකර වසර නවයකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) විවෘත වේ.

මරඳගහමුල නගරය සහල් තොඟ වෙළඳාම සදහා මෙරට ප්‍රසිද්ධ නගරයකි. මෙරටතුළ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ව්‍යාපාරික ප්‍රජාවක් සිටින එකම ස්ථානය මරඳගහමුලයි. 1977 වසරේ සිට මේ දක්වා සහල් ව්‍යාපාරකයින් දුෂ්කරතා රැසක් මැද තම ව්‍යාපාරික කටයුතු මරඳගහමුලනගරයේ සිදු කරයි. එහෙත් සහල් අලෙවිය සඳහා පහසුකම් සහිත නියමිත ස්ථානයක් නොපැවතීම සහ සහල් ගබඩා කිරීමේ ස්ථානයක් නොපැවතීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත් ව සිටියහ.

පුද්ගලික අංශය සතුව පවතින මෙරටසහල් ඒකාධිකාරිය බිඳ දැමීමේ අරමුණින් මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි. ඒ 2014 වසරේදී ක්‍රියාත්මක කරනු ලැබූ දිවිනැඟුම ව්‍යාපෘතිය මගිනි.

නමුත් යහපාලන රජය යටතේ ක්‍රියාත්මකවූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2015 වසරේදී අහෝසිකරනු ලැබිණ. ඒ සමඟම පසුගිය වසර නවයක කාලය පුරාම මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය වල් බිහි වෙමින් තිබුණි.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීමෙන් මෙම ගබඩා සංකීර්ණය නැවත පිළිසකර කෙරිණ. මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානයේ සියලුම වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලාඅමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම වසරේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබුණි.

මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය පිහිටි ඉඩම අක්කර දෙකක පමණ විශාලත්වයකින් යුතුය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වෙළඳ කුටි 115 න් පමණ සමන්විත මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 459 මුදලක් වැයවූ බවයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. ගබඩා සංකීර්ණයේ වී මෙක්ට්‍රික් ටොන් 75,000ක් පමණ ගබඩා කිරීමට පහසුකම් ඇත. වී අළවි මණ්ඩලය යටතේ පවතින එම ගබඩා දෙකද මේ වනතෙක් කිසිඳු ප්‍රයෝජනයක් ගෙන නැති බවට වෙළෙඳුන් චෝදනා කරයි. මෙම ගබඩා සංකීර්ණය ලබන මහ කන්නයේ සිට වී ගබඩා කිරීමට බස්නාහිර පළාත් සමූපාකාර දෙපාර්තමේන්තුවට ලබාදෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ පිළිබඳව බස්නාහිරපළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි. මරඳගහමුල විශේෂිත තොඟ වෙළඳ මධ්‍යස්ථානය හෙට (19) ජනතා අයිතියට පත් පත් කිරීමෙන් පසුව එය දිනපතා පෙරවරු 5.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව තැබීමට නියමිතය. සහල් ඇතුළු අත්‍යාවශ්‍යආහාර ද්‍රව්‍ය සියල්ල මෙතැනින් ලබා ගැනීමට තොඟ වෙළඳුන්ට අවස්ථාව හිමි වේ. ඔවුන්ට අවශ්‍ය වාහන ගාල් කිරීමේ පහසුකම් හා පොදු පහසුකම් සියල්ලන්ගෙන්ම මෙම මධ්‍යස්ථානය සමන්විතවේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT