Home » ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිවාරයට ඇමති සබ්රි

ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිවාරයට ඇමති සබ්රි

by chanaka
December 18, 2023 7:54 pm 0 comment

විදේශ අමාත්‍යවරුන්ගේ මට්ටමින් පැවැත්වෙන ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා දෙසැම්බර් 20 සිට 22 වැනි දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර නිල සංචාරයක නිරත වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දරන අතර නේපාල විදේශ කටයුතු අමාත්‍ය නාරායන් ප්‍රකාශ් සවුද් මහතා සමඟ ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසියේ සම සභාපතිත්වය දරයි. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර වෙළෙඳාම සහ ආයෝජන, සංචාරක කටයුතු, අධ්‍යාපනය, ආරක්ෂාව, සංස්කෘතිය, සම්බන්ධකතාව සහ පුද්ගල- පුද්ගල සබඳතා ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාවේ ක්ෂේත්‍ර රැසක් පිළිබඳව ඒකාබද්ධ කොමිසම අවධානය යොමු කරනු ඇත.

ඒකාබද්ධ කොමිසම අතරතුරදී, විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබෙයි.

ඒකාබද්ධ කොමිසමට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය නාරායන් ප්‍රකාශ් සවුද් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. කත්මණ්ඩු නුවර රැඳී සිටින කාලය ඇතුළත ඔහු නේපාල ජනපති රාම් චන්ද්‍ර පවුදෙල් සහ නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් යන මහතවරුන්ද හමුවනු ඇත.

මෙම සංචාරයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නේපාලයේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව ද හමුවෙයි.

නේපාලයේ ශ්‍රී ලංකා තානාපති එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන කරගොඩ පතිරණ (විශ්‍රාමික) මහතා මෙන් ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම රැස්වීම්වලට සහභාගී වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT