‘මහපොළ’ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ අවසන් දිනයට එක්වෙමින් අගමැති කියයි
මහපොළෙන් අධ්‍යාපනයේ යෝධ පෙරළියක් ඇති වුණු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ජා – ඇළ නගර සභා ක්‍රීඩාංගණයේ පෙරේදා (17) පැවැති ‘මහපොළ’ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය සනිටුහන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. මහපොළ සෙවණ යට අධ්‍යාපනය හා දැනුම එකට එකතු කරන්න පුළුවන් අලුත් අවස්ථා බිහි වී තිබෙන බව අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
දස වසරකට පසු යළි පණ ගැන්වුණු මහපොළ ලක් ඉතිහාසය වෙනස් කළ සුවිශේෂ වැඩපිළිවෙළක්. මහවැලි ගඟ වගේ නොනවතින මහපොළ, ලලිත් ඇතුලත්මුදලි මහතා ආරම්භ කිරීමෙන් පසු විවිධ ආකාරයෙන් පුළුල් වෙමින් රට පුරා ගමන් කරමින්, විවිධ පෙරළි කරමින්, මහපොළක් බවට පත් වුණා. ලලිත් ඇතුලත්මුදලි මහතා සමඟ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරයෙක් හැටියට මා දකිනවා සෑම අවස්ථාවකම විශිෂ්ට දේශකයෙක් හැටියට ලලිත් අලුත් දෙයක් පාර්ලිමේන්තු ඉතිහාසයට එක් කළ බව. ඒ නිසාම ඔහුට අදත් අපි ගරු කරනවා. උතුම් ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස තම ප්‍රතිවිරුද්ධ මතවාදීන් සමඟ එක්ව සාකච්ඡා කරන්න පුළුවන් ක්‍රමයක් අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට දායාද කළා. ඊටත් වඩා ඔහු නිර්මාණශීලීව ඇති කළ මහපොළ අපේ රටේ දූ දරු පරම්පරාවගේ අනාගතයට දෙන සහාය අපමණයි.
සෑම මවක්ම පියෙක්ම දරුවෙකුගේ අනාගතය ගැන හිතනවා. ආදරණීය දරුවන්ට ඒ අනාගතය කරා යන්නට තිබුණු විශාල ගැටලු විසඳමින් අපේ ගම්බද නගරබද විශාල ජනතා කොට්ඨාසවල දරුවන්ට දෙන මහපොළ ශිෂ්‍යත්වය එවැන්නක්.
සේවක අර්ථසාධක අරමුදල ලංකාවේ තිබෙන, ආසියාවේ තිබෙන සේවකයන් සඳහා වූ යෝධතම බැංකුවක් බවට අද පත් වී තිබෙනවා. ආරම්භයේදී කිසිවකු හිතුවේ නැහැ මෙවන් ශක්තිමත් යෝධ බැංකුවක් ඒ තුළින් බිහිවෙයි කියලා. ලලිත් ඇතුලත්මුදලි මහතා ද හිතුවේ නැහැ. මේ තරම් යෝධ පෙරළියක්, විප්ලවයක් අධ්‍යාපනයට මේ ආකාරයෙන් දායාද කරන්න හැකි වෙයි කියලා.
මේ රට ගොඩනැඟිය හැකි දරුවන් මහපොළෙන් බිහිවෙලා රටේ විවිධ ආයතනවලත් ජාත්‍යන්තරවත් අද සේවය කරනවා. මහපොළ වැඩපිළිවෙළ යළි ආරම්භ කර ඉදිරියට ගෙන යන ක්‍රියාමාර්ගය අපේ රටේ හැදෙන වැඩෙන පරම්පරාවටයි. එදා මහපොළ ආරම්භ කරනකොට ඇඟිල්ලෙන් ගණන් කරන්න පුළුවන් තරමටයි විශ්වවිද්‍යාල තිබුණේ. එදාට වඩා රටේ අද තුන් ගුණයක් හතර ගුණයකට වැඩි ප්‍රමාණයකට රාජ්‍ය විශ්වවිද්‍යාල තිබෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල විස්සකට වැඩිය මේ රටේ තිබෙනවා.
අලුත් තොරතුරු තාක්ෂණය හා විද්‍යාව අභියෝග ජය ගන්න පුළුවන් තත්ත්වයට පරිවර්තනය කරන කේන්ද්‍රස්ථානයක් මහපොළ. අධ්‍යාපනය හා දැනුම එකට එකතු කරන්න පුළුවන් මහපොළ සෙවණ යට කියලා අලුත් පණිවුඩයක් රටට යවන්න පුළුවන්. අභියෝග ජයගන්න නම් අපි සම්ප්‍රදාය වෙනස් කර, අලුත් අභියෝග ජයගන්න රටක පරම්පරාව විය යුතුයි කියා මේ මහපොළ කියාපානවා.
වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඇමැති නලින් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
නුවන් කොඩිකාර සහ ජා – ඇළ ප්‍රසංග පෙරේරා