Home » බාග්ලේ යයි – සන්තෝෂ් ජා එයි

බාග්ලේ යයි – සන්තෝෂ් ජා එයි

by chanaka
December 19, 2023 2:50 pm 0 comment

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා 2023 දෙසැම්බර් 15 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් සිය ධුර කාලය අවසන් කළේය. ඔහුව ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.

මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා 2020 මැයි මා‍සයේ දී ශ්‍රී ලංකාවේ වැඩ භාරගත් අතර දිවයිනේ ඉහළතම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වශයෙන් ඔහුගේ ධුර කාලය තුළ ද්විපාර්ශවික හවුල්කාරීත්වයේ අසමසම සන්ධිස්ථාන රැසක් සනිටුහන් විය. ඉන්දියා – ශ්‍රී ලංකා සබඳතාහි විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීම උදෙසා ඒ මහතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

බග්ලේ මහතාගේ ධුර කාලය තුළ ඉස්මතු වී පෙනෙන ප්‍රධානතම කාරණාවක් වන්නේ 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අභියෝගයන්ට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක් වටිනා විවිධාකාර සහයෝගයයි. 2022 ජනවාරි මාසයේදී ත්‍රිකුණාමලය ටැංකි සංකීර්ණයේ අයිතිය, සංවර්ධනය සහ පරිහරණය සඳහා සහ ලංකා ඛනිජතෙල් සංස්ථාව සහ LIOC අතර බද්ධ ව්‍යාපාරයක් සඳහා ගිවිසුම් අත්සන් තැබීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

ගෝපාල් බාග්ලේ මහතාගේ අධීක්ෂණය යටතේ, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතය ජයගැනීම සඳහා ඖෂධ ටොන් 25ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත්, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල සහ ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සපයන ලදී. එසේම, මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට මානුෂීය සැපයුම් කඩිනම් කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාව සහ ගුවන් හමුදාව ද යොදවන ලදී.

දෙරට අතර ආර්ථික සහ වාණිජ නියැළීම් ද ඔහුගේ ධුර කාලය තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළේය.
පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය, විදුලිබල පද්ධති සම්බන්ධ කිරීම, ත්‍රිකුණාමලය සංවර්ධනය, UPI අයැදුම් පිළිගැනීම සහ ඩිජිටල් ගෙවීම් සහ ඉන්දියානු රුපියල්වලින් නම්කරන ලද ගෙවීම් පියවීම් භාවිතා කිරීම ඇතුළු දෑ සඳහා විවිධ ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් රැසක් ද අත්සන් තබන ලදී. මේ අතර ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ සහ‍කරුවා බවට ද පත් වී ඇත. ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය වැනි සුවිශේෂී ව්‍යාපෘති සංවර්ධන සහයෝගීතාවයට ඇතුළත් වූ අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානය සහ 2021 ඔක්තෝබර් මාසයේදී භික්ෂූන් වහන්සේලා 100කට ආසන්න පිරිසක් රැගෙන ශ්‍රී ලංකාවේ සිට පූජනීය කුසිනාරාව බලා පිටත් වූ ප්‍රථම ජාත්‍යන්තර ගුවන් යානය වැනි විවිධ උතුම් පියවර බුදු දහම පදනම් කරගෙන දෙරට අතර පවතින පාරම්පරික සබඳතා සවිමත් කළේය.

චෙන්නායි – යාපනය ගුවන් ගමන් සහ දෙරට අතර බෝට්ටු සේවා යළි ඇරඹීම වැනි විවිධ වැඩසටහන් හරහා සම්බන්ධකතා‍වය ද වැඩි දියුණු විය.

ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහ කොමසාරිස්වරයා වශයෙන් සන්තෝෂ් ජා මහතා වැඩ භාර ගනු ඇත. ජා මහතා දැනට බෙල්ජියම, ලක්සම්බර්ග් සහ යුරෝපීය සංගමය සඳහා ඉන්දියාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කරයි. වසර 30ක් පුරා දිවෙන වෘත්තිමය අත්දැකීම් සමඟින් එතුමා විවිධ රටවල සහ නව දිල්ලියේ සේවය කර ඇති අතර 2007-2010 කාලසීමාව තුළ කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ද උපදේශකවරයකු ලෙස සේවය කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT