Home » මනම්පිටිය වැලිමංකඩ 26ක් හිතවතුන්ට බෙදාදෙන්න පැමිණි භූ විද්‍යා නිලධාරීහු හැරී යති
ගම්මුන්ගෙන් දැඩි විරෝධය මැද

මනම්පිටිය වැලිමංකඩ 26ක් හිතවතුන්ට බෙදාදෙන්න පැමිණි භූ විද්‍යා නිලධාරීහු හැරී යති

by sachintha
December 20, 2023 12:15 am 0 comment

පොලොන්නරුව, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය මහවැලි ගඟේ, පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයෙන් වැලිමංකඩ 26ක් දේශපාලන හිතවතුන්ට සහ පිටස්තර පුද්ගලයන්ට දීම සදහා භූමි පරීක්ෂාවට පැමිණි භූ විද්‍යා පතල් කැණීම් කාර්යාශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් පළවා හැරීමට ප්‍රදේශවාසීහු ඊයේ ක්‍රියා කළහ. මේ වැලිමංකඩ 26 පරිසරයට හානිවන අන්දමින් බෙදාදීමට ඊයේ (19) වනජීවී නිලධාරින්, පරිසර අධිකාරියේ නිලධාරීන්,වැලිමංකඩ ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිසක් සහ වැලි ගොඩදමන්නන් මෙන්ම ටිපර් රථ රියැදුරන්ද පැමිණ සිටි අතර ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ ඔවුන්ට හිස් අතින් ආපසු යෑමට සිදු විය.

මනම්පිටිය මහවැලි ගඟේ ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයේ පිටස්තර මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසකට සහ දේශපාලන හිතවතුන්ට මේ වැලිමංකඩ ලබාදීමට භූ විද්‍ය හා පතල් කෙනෙක් කාර්යාංශය සැලසුම් කර තිබිණි.එම වැලිමංකඩ ලබාදීමේදී වන අලින් වන සතුන්ගේ ජීවිතවලට විශාල තර්ජනයකට මුහුණදීමට සිදු වේ.ප්‍රදේශයේ වැලිමංකඩ ලබාදීමට කටයුතු කළහොත් වියලි කාලයන්හිදී පොළොන්නරුව රෝහල ඇතුළු පොළොන්නරුව ප්‍රදේශයේ පවුල් විසිපන්දහකට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණපෑමට සිදුවන බවද විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කළහ.

මීට පෙර අවස්ථා කීපයකදීම මනම්පිටිය ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයේ වැලිමංකඩ බෙදා දීමට අදාළ බලධාරීන් සැලසුම් කර තිබියදී ඒ පිළිබඳ මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමඟ අනීතකව ලබාදීමට යන වැලිමංකඩ අකුලා ගැනීමට සිදුවූ බවත්, ප්‍රදේශයෙන් කිසිදු අයකට වැලිමංකඩ ලබාදීමට ඉඩ නොදෙන ලෙස වත්මන් පරිසර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව මනම්පිටිය වැලිමංකඩ හිමියන් සහ පරිසරවේදීන් මෙන්ම මහා සංඝරත්නය ඉල්ලා සිටිති.

මනම්පිටිය මහවැලි ගඟේ හළ ප්‍රදේශයේ වැලිමංකඩ විසිහයක් ලබාදෙන බවට සඳහන් කරමින් භූ විද්‍ය හා සමීක්ෂණ හා පතල් අංශයේ පොළොන්නරුව කැණීම් ඉංජිනේරු එච්. ඒ. සී. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා අදාල ආයතන දැනුවත් කර මංකඩලාභීන්ගේ නම් වෙනුවට සඳහන් කර ඇත්තේ පෞද්ගලික වැලි සමාගමක් බව ද එය පිටුපස විශාල කුමන්ත්‍රයක් සහ අබිරහසක් තිබෙන බවද වැලි මංකඩලාභීහු සඳහන් කරති.

අප මේ පිළිබඳව භූ විද්‍ය හා පතල් කිරීම් කාර්යාංශයේ කොළඹ කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධීකාරක සුජිත් කෝනාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ එම ප්‍රදේශයෙන් වැලිමංකඩ විසිහයක් ලබාදීමට සූදානම් කර ඇත්තේ තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රදේශවල පදිංචි අයට බවයි.

 

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT