වසර 03කට පසුව මෙවර අය වැය මඟින් රුපියල් කෝටි 11,25ක් (මිලියන 11,250) දිස්ත්‍රික් විමධ්‍යගත අය වැය ලෙස වෙන් කර ඇති බවත් එම මුදල් එළැඹෙන ජනවාරි මාසයේදී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (21) පැවති සාකච්ඡාවේදීය.
රට මුහුණදුන් ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසර 03ක කාලයක් දිස්ත්‍රික්ක සඳහා විමධ්‍යගත අය වැය ලබා නොදීම හේතුවෙන් ග්‍රාමීය ආර්ථිකය මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු බිම් මට්ටමේ ව්‍යාපෘති කඩා වැටීමකට ලක් වූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එම ව්‍යාපෘති නැවත කඩිනම් කර ග්‍රාමීය ජනතාවට ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සියලු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.
සංවර්ධන කාර්යයේදී මධ්‍යම රජය සහ පළාත් සභා ලෙස බෙදී වෙන් නොවී සියලුදෙනා එකම වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2024 අය වැය ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ දිස්ත්‍රික්ක අනුව සංවර්ධන අරමුදල් බෙදී යෑම සම්බන්ධයෙන් මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුම්වත් කෙරිණි.
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන සහ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සඳහා මෙවර අය වැයෙන් මුදල් වෙන් කර ඇති බවත් අනෙකුත් ව්‍යාපෘතිවලට සමගාමීව මෙය ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ලෙස හඳුනා ගනිමින් ජනාධිපති කාර්යාලයේ ඍජු මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
වසර 03ක් රජයේ ප්‍රාග්ධන වියදම් සිදු කෙරුණේ නැහැ. මධ්‍යම රජයේ පමණක් නොවෙයි පළාත් සභා සියල්ලෙම කටයුතු නතර වුණා. මේ හේතුවෙන් ගමේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වුණා. ගම් මට්ටමේ ව්‍යාපාර ගණනාවක් බිඳවැටුණා. ඒ වගේම සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා තවත් හානියක් සිදු වුණා. දිස්ත්‍රික් මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් ආර්ථිකය නඟාසිටුවීමේ වැඩපිළිවෙළ අප දැන් ආරම්භ කර තිබෙනවා. බිම් මට්ටමේ ආර්ථිකය නැවත නඟාසිටුවිය යුතුයි. අප මෙවර විමධ්‍යගත අය වැය ලෙස විශාල මුදලක් වෙන් කර තිබෙනවා. එම ප්‍රතිපාදන සෑම දිස්ත්‍රික්කයකටම ලබා දෙනවා. ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමින් නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එම සංවර්ධන කටයුතු පිළිබඳ යෝජනා ලබාගත යුතුයි.
එක් එක් දිස්ත්‍රික්ක සඳහා ලබාදුන් මුදල්වලට අමතරව කඳුරට ප්‍රදේශවලට තවත් වැඩිපුර මුදලක් ලැබෙනවා. තවත් වසර 05ක් 06ක් යන තෙක් කඳුරට ප්‍රදේශවල සංවර්ධනය සඳහා එම මුදල් ලබා දීමට අප අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මෙය වෙන් කර තිබෙන්නේ කඳුරට ප්‍රදේශයේ නොදියුණු සිංහල හා ද්‍රවිඩ ගම්මාන දියුණු කිරීම සඳහායි.
ඊට අමතරව පළාත් සභාවලට වෙන් කර තිබෙන මුදල් තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශවලට වෙන් කර තිබෙන ප්‍රාග්ධන මුදල් තිබෙනවා. ඒ වගේම විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා. මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා වූ බාධක ඉවත් කර බිම් මට්ටමෙන් පහසුකම් සලසා දිය යුතුයි. වසර 03ක් අතපසු වූ සංවර්ධන කටයුතු එක්වර ආරම්භ කිරීම පහසු කටයුත්තක් නොවෙයි. ඒ වගේම විදේශ ණය සහන යටතේ සිදු කෙරෙන ව්‍යාපෘති ගණනාවක් නැවත ආරම්භ කිරීමට තිබෙනවා. මේවා එකවර ආරම්භ කළ ඒවා නොවෙයි. වසර 05ක්, 06ක් පුරා සිදු කෙරුණු කටයුතු. නමුත් අපට මෙම සියල්ල එකවර ආරම්භ කිරීමට සිදුව තිබෙනවා. මෙම කටයුතු සඳහා සියලු නිලධාරීන්ගේ සහාය අවශ්‍යයි. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලන නියෝජිතයන්ගේ අදහස් සහ යෝජනා අවශ්‍යයි.
මෙහිදී සෑම පළාතකම ප්‍රධාන ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරුන්, මධ්‍යම ආණ්ඩුවේ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුයි.
ඒ වගේම ආණ්ඩුකාරවරයා, ප්‍රධාන ලේකම්වරයා, නව පළාත් කමිටුවේ සභාපතිවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් එක්වී මාසිකව මෙම කටයුතු අධීක්ෂණය කළ යුතුයි.
මෙම සියලු කටයුතුවල අවසාන පරමාර්ථය වන්නේ ගමේ ජනතාවට මෙහි වාසිය ලබාදීමයි. ගමට මුදල් ලැබෙන ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. රටේ ආර්ථිකය නඟාසිටුවන අතරම ගමේ ආර්ථිකය ද අප ඉහළ නැංවිය යුතුයි. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ඊළඟ වසර දෙක තුළ කෘෂි නිෂ්පාදන ඉහළ යනවා. කෘෂි නිෂ්පාදන වැඩි කර තරගකාරී කෘෂිකර්මාන්තයක් ඇති කිරීම අපගේ අරමුණ වන අතර එහි මධ්‍යකාලීන වාසිය ගමේ ආර්ථිකයට ලබා දිය යුතුයි. ඒ නිසා ගමේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ට පැවරෙනවා.
මෙහිදී විසඳාගත නොහැකි ගැටලු තිබෙනවනම් ඒවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන කමිටුවට ඉදිරිපත් කර විසඳුම් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේත් නොහැකි වූ අවස්ථාවක එම ගැටලු මා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මුදල් අමාත්‍යාංශයේ, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ. කුමාරසිරි යන මහත්වරු අදහස් දැක් වූ අතර සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ද පළාත් ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.