Home » යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්

by chanaka
December 22, 2023 12:52 pm 0 comment

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඉන්දියාවේ සිදු කළ පරීක්ෂණයක දී 30%ක් ආසාදිතයන් ලෙස පැය 24ක් තුළ හඳුනාගෙන ඇති අතර එය Omicron හි JN.1 උප ප්‍රභේදය නිසා සිදු වූවක් බව ඔප්පු වී ඇති බවයි.

කොවිඩ් විශේෂ, සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවත්, මිනිසුන් දැඩි ලෙස රෝගාතුර විය හැකි බවත්, හෘදයාබාධ, ආඝාත සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානම ඇතුළු දිගුකාලීන බලපෑම් ද ඇති කළ හැකි බවත් සඳහන් කළ මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ හැකිතාක් ආරක්ෂාකාරී වීම වැදගත් බවයි.

ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණ සිදු කිරීම අවම මට්ටමක පැවතීම නිසා රෝගීන් සමාජය තුළ සිටින්නේ ද නැද්ද යන්න පවා හඳුනාගැනීම අපහසු වී තිබේ.

එම නිසා ජනාකීර්ණ පරිසරයක සිටී නම්, මුව ආවරණය පැළඳීම වඩා ආරක්ෂිත බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයේ සදහන් කර ඇත.

මෙම නව Omicron හි JN.1 හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැති වීමයි.

දීර්ඝ කාලීනව පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය ඇති වීම ද මෙහි රෝග ලක්ෂණවලට අයත්වේ.

එවැනි ලක්ෂණ අනතුරු ඇඟවීමේ සංඥා විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT