චීනයේ වැඩි ප්‍රදේශයක් සෞම්‍ය කලාපයේ පිහිටා ඇතත් එහි පවතින්නේ සංකීර්ණ දේශගුණික රටාවකි. සමස්තයක් ලෙසින් කතා කරන්නේ නම් වෙනස් වූ කාල හතරකින් යුත් දේශගුණික රටාවන් කාල හතරක් බොහෝ ප්‍රදේශවල දක්නට ලැබේ. ඒ වසන්තය මාර්තු සිට මැයි දක්වා ද ගිම්හානය ජුනි සිට අගෝස්තු දක්වාද, සැප්තැම්බරයේ සිට නොවැම්බර් දක්වා සරත් සමයද වශයෙනි. චීනය මේ ගෙවමින් පවතින්නේ ශීත සමයයි. එහෙත් දෙසැම්බර් සිට ජනවාරි දක්වා පවතින ශීත සමය ආරම්භයේදීම චීනය රත්වෙන පුවතක් අසන්නට සියල්ලන්ටම සිදු විය. ඒ පසුගිය දෙසැම්බර් 19 දා වයඹදිග චීනයේ ගන්ෂු පළාතේ ඇති වූ භූමිකම්පාව හේතුවෙනි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් එහි ප්‍රබලත්වය සඳහන් කර ඇත්තේ රිච්ටර් මාපක 5.0ක් ලෙසිනි. මෙකී ප්‍රබලත්වයකින් යුත් භූකම්පාවේ බලපෑම අසල්වැසි කිංග්හායි පළාතටද දැනුණු බව චීන බලධාරින් විසින් විදෙස් පුවත් සේවාවන් දැනුම්වත් කර තිබිණි.
භූ කම්පනයේ බලපෑම
බීබීසී පුවත් සේවය සඳහන් කරනුයේ භූ කම්පනයේ බලපෑම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 130කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් 700කට වැඩි ප්‍රමාණයක් තුවා ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍යයන්ගෙන් ප්‍රකාශ කරනා බවයි. පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියට ආසන්නව ඇති වූ භූ කම්පනයෙන් පසු පෙරවරු 10 පමණ වන විට පසු කම්පන නවයක් ඇති වී තිබිණි. මුල් භූමිකම්පාවෙන් පසු ඇති වූ පසු කම්පනයන්ගේ විශාලතම භූ කම්පනයේ ප්‍රබලත්වය ලෙසින් සඳහන් වන්නේ රිච්ටර් මාපකය 4.1 ලෙසිනි. මෙම භූ කම්පනයන්ගේ බලපෑම කවරේද යත් චීනයේ රාජ්‍ය විකාශන ආයතනය වන CCTV සඳහන් කරන ආකාරයට නිවාස 15,000කට ආසන්න ප්‍රමාණයක් සුන්බුන් බවට පත්ව ඇති අතර, මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ඉන් ඉවත් කිරීමට ද සිදු වූ බවයි. එමෙන්ම අඟහරුවාදා වන විට කිංග්හායි (Qinghai) පළාතේ 198 දෙනෙකු තුවාල ලබා 18 දෙනකු මියගොස් සිටි බව දක්වා තිබිණි. මේ අතර 16 දෙනකු පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි විණි. මෙම කලබගෑනියත් සමඟම ජලය සහ විදුලි සැපයුම අඩාළ වූ අතර ජංගම දුරකතන සන්නිවේදනයන් ද ඇනහිටිණි.
භූ කම්පන සහ චීනය
නිරන්තරයෙන් භූකම්පන සඳහා ලක් වන රටක් ලෙසින් චීනය හැඳින්විය හැකිය. පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියට ආසන්නව ඇති වූ භූ කම්පනය සිදුව ඇත්තේ පොළව මට්ටමේ සිට කිලෝ මීටර් 10ක් ගැඹුරිනි. මෙහි භූ කම්පන ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ 6.2ක් ලෙස සටහන් වූවද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ එය රිච්ටර් පරිමාණ 5.9ක් ලෙසිනි. ඉතිහාසයේ මේ වනතුරු සිදුව ඇති වඩාත් මරණ සංඛ්‍යාවක් සිදු වූ භූ කම්පනය කවරේද යන්න පිළිබඳව කරුණු දක්වන්නේ නම් එයට නම් කළ හැකි රට වන්නේ ද චීනයයි. මෙහි තතු දැන ගැනීමට නම් වසර 450ක් පමණ අතීතයට පියමං කළ යුතුය. නිශ්චිත වශයෙන්ම දිනයක් පැවසීම අපහසු වුවද එය සිදු වූවා යැයි සැලකෙන්නේ 1556 ජනවාරි 23 වැනි දිනය. චීන ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙසින් සැලකෙන ෂැන්සි පළාතට එය සාමාන්‍ය අයුරින් මිනිසුන්ට ජීවිකාව ගෙන යා හැකි දිනයක් නොවීය. අතීත වාර්තාවන්හි එම දිනය නම් කර ඇත්තේ මානව ඉතිහාසයේ මාරාන්තිකම දිනයක් ලෙසිනි. මෙදින ඇති වූ භූ කම්පාව හේතුවෙන් පුද්ගලයන් 830000ක් පමණ මියගිය බැව් දැක්වේ. එම ගණනයන්ට අනුව ලක්ෂ අටකට වැඩි පිරිසක් මියගියද නවීන ඇස්තමේන්තු අනුව එය වෙනස්ව තිබිණි. මේ අනුව 1556 ඇති වූ භූමිකම්පාවෙන් ලක්ෂයකට මඳක් වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, 730000ක් දුර බැහැරට සංක්‍රමණය වී හෝ සාගතයෙන් මියගොස් අධිරාජ්‍ය වාර්තාවල 830000ක් ලෙසින් සාරාංශ කර තිබෙන බව වාර්තාවන්හි දැක් වේ.
2008 වසරේදී 7.9ක රිච්ටර් මාපක අගයකින් යුත් භූ කම්පනයක් චීනයේ සිචුවාන් හිදි සිදු වූ අතර එයින් 87000කට වැඩි පිරිසක් මියගිය අතර පාසල් ළමෝ පමණක් 5300කට වැඩි පිරිසක් මියගියහ. එමෙන්ම මීට පෙර චීනයේ ඇති වූ දරුණුතම භූ කම්පනයක් වන්නේ 1976 වසරේ Tangshan හි වූ සිදු වීමයි. එහි දී සිදු වූ ගණනයන් අතුරෙන් පුද්ගලයින් 242000ක පමණ සංඛ්‍යාවක් මිය ගියහ.
චීනයේ මෙම භූ මිකම්පාව සිදු වීමට පෙර වර්තමානයේ භූ කම්පන මඟින් ඇති වූ භයානකම තත්ත්වය පෙන්නුම් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේදීය. ඒ තුර්කිය හා සිරියාව අතර සිදු වූ භූකම්පනයේදීය. මෙකී භූ කම්පනයෙන් 55000ක් පමණ මියගිය අතර ලක්ෂයක් පමණ දෙනා තුවාල ලැබීය. එහිදී දෙරටේම ගොඩනැඟිලි 6500කට වඩා විනාශ වූ අතර මිලියන 2.4ක පමණ ජනතාවක් අවතැන් විය.
පසුගිය අඟහරුවාදා භූ කම්පනය සිදු වූ ‘ගන්ෂු’ ප්‍රදේශය චීනයේ දරිද්‍රතාවයෙන් යුතු කලාපයකි. මේ හේතුව නිසාවෙන්ම චීන ජනාධිපතිවරයා මේ සම්බන්ධ වැඩි අවධානයක් යොමු කළ අතර ගලවා ගැනීමේ කටයුතු යුහුසුලුව කරන්නැයි නියෝග කර සිටියේය. ඔහු ප්‍රකාශ කර සිටියේ “සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් සියලු ප්‍රයත්න දැරිය යුතුයි. තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කරන අතරම මරණ සංඛ්‍යාව ද අඩු කර ගැනීමට කටයුතු කළ යුතුයි” යනුවෙනි.
ගලවා ගැනීමේ කටයුතුවලදී බාධාවක් වන හෙයින් මහජනතාවට මෙම ප්‍රදේශ කරා නොපැමිණෙන ලෙසත් තුවාලකරුවන් රැගෙන යාමට මහාමාර්ග හිස්ව තබන ලෙසත් ප්‍රාදේශීය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබූහ.
මේ වන විට යුද හමුදාව මෙන්ම පොලිසිය සහන සේවකයන් 4000ක් සමඟ එක්ව මෙහෙයුම් කටයුතු සඳහා එක්වෙමින් සිටී.
එය එසේ වුවද සියල්ල අපහසු වී ඇත්තේ පවතින කාලගුණ තත්ත්වය හේතුවෙනි. මෙම භූ කම්පන තත්ත්වය සිදු වූ පළාතේ මේ වන විට සෙල්සියස් ඍණ 14ක පමණ ශීත තත්ත්වයක් තිබෙන හෙයින් කඩා වැටුණු ගොඩනැඟිලි ආදිය තුළ සිර වී සිටින තුවාලකරුවන් බේරා ගැනීම ඉතා අපහසු කාර්යයක් වී තිබේ. නමුත් උෂ්ණත්වය යම් තරමකට වෙනස් වීමත් සමඟ අවතැන් වූ ජනතාව නවාතැන් ගැනීමට කූඩාරම් සඳහා පැමිණෙන්නට වූහ.
ආපදාවට ලක්වූවන් මුදා ගැනීම
බීජිංහි හදිසි කළමනාකාරිත්වය මඟින් ආපදාවට පත් ප්‍රදේශයන්හි ජනතාව මුදා ගැනීමේදී ගිනි නිවන දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ පිරිස් හා හදිසි ගලවා ගැනීමේ කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට කටයුතු කළහ. මේ සඳහා පොලිසියේ මෙන්ම ආරක්ෂක හමුදාවේ පිරිස් ද සම්බන්ධ වූ අතර දෙසැම්බර් 20 උදෑසන වන විට පුද්ගලයින් 78 දෙනකු බේරා ගැනීමට සමත් වූ අතර, නැවත පිරිස් සෙවීම සහ මුදා ගැනීම් නතර කිරීමට ඔවුහු කටයුතු කළහ. එයට හේතුව වූයේ බේරා ගන්නා ලද පිරිස් සඳහා ප්‍රතිකාර ලබා දීම ප්‍රමුඛත්වයෙහිලා සලකන්නට කටයුතු කළ හෙයිනි. මෙම ගලවා ගැනීමේ කටයුතුවලදී ගිනිනිවන හමුදාව විසින් සෙබළුන් 1440ක් පමණ යොදවා තිබූ අතර, ඒ සඳහා ගිනිනිවන රථ 88ක් සුනඛයින් 12ක් සහ ගලවා ගැනීමේ උපකරණ 10000ක් පමණ මේ සම්බන්ධව කටයුතු කරන බව බලධාරින් සඳහන් කර තිබිණි.
‘චයිනා නිව්ස්වීක්’ සඳහා පවතින තත්ත්වය පිළිබඳ අදහස් ප්‍රකාශ කළ මෙහෙයුමේ විශේෂඥයෙක් අනතුරු අඟවා සිටියේ පවතින සීතල කාලගුණික තත්ත්වය ගලවා ගැනීමේ කටයුතු සඳහා බාධාවක් වනවා මෙන්ම දිවි ගලවා ගත් අය බේරා ගැනීමට තිබෙන කාලය සීමා සහිත වන බවයි.
මේ වන විට අනතුරට පත් ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවන් තාවකාලිකව නවතා දමන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවේ පරීක්ෂණ කටයුතුවල පහසුව වෙනුවෙනි. කූලීරථ මඟින් තුවාලකරුවන් රෝහල් වෙත ගෙන යාමට කටයුතු කළ අතර රෝහල් සේවකයෝ 140කට වැඩි පිරිසක් සහභාගි වූහ. මේ අතර Dahe ප්‍රදේශයේ කණ්ඩායම් කිහිපයක් එකතු වී කඳවුරක් පිහිටුවා ගත් අතර මේ සඳහා අවශ්‍ය කරනු ලබන බ්ලැන්කට්, ඇඳන් ආදිය ලබා දුන් අතර, පිස්ෂින් ප්‍රාන්තයේ සිටින 14700ක් පමණ වූ සිසුන් හා ගුරුවරු සංඛ්‍යාවක් සිටින සියලුම පාසල් වසා දමන ලද අතර, දෙසැම්බර් 20 වැනිදා වන විට 87000කට අධික පිරිසක් නැවත ‘ගැන්ෂු’ හි පදිංචි කිරීමට බලධාරින් විසින් කටයුතු කරන ලදි.